රටක් ගොඩනැඟීමට පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත්
රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
එසේ නොමැතිනම් සමාජය වියවුල් වන බවයි ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙන්නේ.
කළුතර පිංහේන ගංඟාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද බෝධි ප්රාකාරය හා අටවිසි බුදුපිළිම සහිත බුදු කුටි විවෘත කිරීම ඊයේ (14) පස්වරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සිදු වුණා.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙලෙස ප්රකාශ කළා.
“මේ ආගමික ස්ථාන ආරක්ෂා කරලා. සංවර්ධනය කළොත් තමයි සමාජයක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අපි සියලුදෙනා හොද බෞද්ධයන් වුනොත්, අනිත් සියලුම ආගම් වලට කිසියම් බාධාවක් නැතිව ඔවුන්ගේ ආගම පිළිපදින්නට නිදහසක් ඔවුන්ට ලැබෙනවා.
කාදිනල් පියතුමා මෑතකදී ප්රකාශ කරලා තිබුනා, මේ රටේ බෞද්ධාගම නිසා තමයි අනෙකුත් ආගම් සියල්ලකටම මෙරට තුළ තිබෙන්නට පුළුවන්වෙලා තිබෙන්නේ. වෙනත් රටවල් වල තියෙන බාධාවන් නැතිව කතෝලික ආගම හෝ වේවා, හින්දු ආගම හෝ වේවා, ඉස්ලාම් ආගම හෝ වේවා මේවා පැවත එන්නේ මේ රටේ බෞද්ධාගම නිසා කියන එක. ඒ කියන්නේ මේ ගමේ සෑම දෙමාපියෙක්ම තමන්ගේ දරුවන්ව දහම් පාසලට එවීම ඉතාමත්ම වැදගත් වනවා.
අද බොහෝ දෙනෙක් මේ නිදහස ගැන කතා කරනවා. පුද්ගලික නිදහස ලැබෙනවාත් එක්කම ඒ පුද්ගලයන්ගේ විනය ඉතාමත්ම වැදගත් වනවා. එහෙම නැත්නම් සමාජය වියවුල් තත්ත්වයකට පත්වෙනවා. තමන්ට ඕන විවිධ දේවල් කරනවා නම් සමාජයක් පවතින්නේ නැහැ. ඒ විනියත් අනිත් අය කෙරෙහි, ඔවුන්ගේ පැවැත්ම කෙරෙහි අපි සැලකිලිමත් වෙන්නේ අපි හොද බෞද්ධයෙක් නම්, අපි පන්සලත් සමග තමයි අපේ ගම දියුණු විය යුත්තේ. සමාජය දියුණු විය යුත්තේ.”