නවතම ප්‍රවෘත්ති

රටවල් 22ක් පරද්දලා මම ලකුණු 100න් 100ම ගත්තා – නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චි

2021 අවුරුද්දේ බංග්ලාදේශයෙන් හරි අපූරු ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ වයස අවුරුදු 09ක මහාචාර්යවරයෙක් ගැන. 2012 අප්‍රේල් 09 වැනිදා ඉපදිලා තිබුණු මේ පුංචි මහාචාර්යවරයාගේ නම සෝබෝන්. ඉපදිලා හය මාසෙකින් කතා කරන්න පටන්ගත්තු සෝබෝන්, වයස අවුරුදු 05 ලබද්දි ඕනෑම ගණිත ගැටලුවක් විසඳන්නත් හපන්කම් දැක්වුවලු. ඒ විතරක් නම් බැරියැ, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ සංකීර්ණ විෂයන් ගැනත් ලොකු දැනුමක් තිබුණලු. ඒ නිසාම ‘නූතන අයිස්ටයින්’ කියලයි සමහරු මේ පුංචි දක්ෂයාව හඳුන්වලා තියෙන්නේ. වයස අවුරුදු 06 ලබද්දිම කොල්ලා ‘The Love’ නමින් පිටු 70ක පොතකුත් ලියලා. කොහොමද වැඩේ…!

සෝබොන්ගේ ජාතියේ දරු දැරියෝ ඉන්නේ විදෙස් රටවල විතරයි කියලා හිතුවට මොකද අපේ රටෙත් ඊට නොදෙවැනි දක්ෂ දරු දැරියෝ ඉන්නවා. අපි මේ කියන්න යන නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චිත් එහෙව් දැරියක්. තාමත් වයස අවුරුදු 07ක් වෙන නුරේෂි වයසට වඩා පැහුනු දක්ෂ ගණන්කාරියක්. පසුගියදා මැලේසියාවේ තිබුණු අග්නිදිග ආසියානු ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියේ (South East Asian Mathematical Olympiad 2025) වයස අවුරුදු 6 – 8 කාණ්ඩය තුළ රටවල් 22ක් පරදා ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදෙන්න නුරේෂි දුව සමත්වුණා. මේ ඇයගේ ඒ සුපිරි ජයග්‍රහණය ගැන නුරේෂි දුව එක්ක කරපු පුංචි කතාබහක්.

 

*මුලින්ම අපි කැමතියි මේ නුරේෂි දුව කවුද කියලා දැනගන්න?

මං නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චි. වයස අවුරුදු 7යි. කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 3 ශ්‍රේණියේ තමයි දැනට ඉගෙනගන්නේ.

 

*පසුගියදා දුව ලොකු ජයග්‍රහණයක් අපේ රටට අරගෙන දුන්නා. ඒ ගැන කිව්වොත්?

ඔව් ඔව් අග්නිදිග ආසියානු ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය කියන්නේ අග්නිදිග ආසියාව තුළ ආරම්භ වූ නමුත්, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ජාත්‍යන්තර මට්ටමේ ගණිත තරඟාවලියක්. ඒ තරඟාවලියෙදි වයස අවුරුදු 6 – 8 කාණ්ඩය තුළ රටවල් 22 ක් පරදා ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්න මට අවස්ථාව ලැබුණා.

 

*තරඟයට යන්න දුවට අවස්ථාව ලැබුණේ කොයි විදියටද?

පාසල්වල ගණිත විෂයට වැඩි ලකුණු ලබාගත් දරුවන්ට ලංකාවේ සුදුසුකම් ලැබීමේ තරඟයක් තිබුණා. ඒකෙන් වැඩිපුර ලකුණු ලබාගත් අයට තමයි අග්නිදිග ආසියානු ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියට යන්න අවස්ථාව හිමිවුණේ. මමත් හොඳට ලකුණු ගත්ත නිසාම මටත් ඒ අවස්ථාව ලැබුණා.

 

*තර‍‍ඟයේදී දුවට කරන්න තිබුණේ එහෙම මොනවද?

Geomatry, Algebra, Arithmetic, Number Patterns, Combinatorics වගේම Logic වගේ විවිධ ගණිත ක්‍රමයන් ඇතුළත් ගණිත විභාග ප්‍රශ්න පත්‍රයකට යම් කාලයක් තුළදි පිළිතුරු සපයන්නයි තිබුණේ.

 

*එතකොට රටවල් 22කම දරුවන් පරද්දලා දුවට රන් පදක්කම ලැබුණේ එයින් වැඩි ලකුණු අරගෙනද?

ඒ පිළිතුරු සපයන්න දුන්නු ප්‍රශ්න පත්‍රයට මම ලකුණු 100න් 100ම ගත්තා. ඒ නිසා තමා එදා මට ජයග්‍රහණය කරන්න අවස්ථාව හිමිවුණේ.

 

*ජයග්‍රහණය කරයි කියලා මුලින් හිතුවද?

මගේ අම්මා නිතරම කියන දෙයක් තමයි ඔයා ජයග්‍රහණය ගැන හෝ කාවවත් පරද්දන එක ගැන හිතන්න එපා කරන දේ හරියටම කරන්න කියන එක. ඉතින් මං දිනුමක් ගැන හිතුවෙම නෑ. ඒත් පාසලේ ගුරුවරුන්ගේ උපදෙස් එක්ක මං ඒ තරඟයට ගියේම හො‍ඳින් සූදානම් වෙලා.

 

*එදා දිනුවට පස්සේ දුවට මොකද හිතුණේ?

ඇත්තටම ලොකු සතුටක් දැනුණා. එදා ස්ටේජ් එකේදි මම ශ්‍රී ලංකා කොඩිය ඉහළට ඔසවලා පෙන්නද්දි ඇස්වලට කඳුළු ආවා. ඒත් එක්කම එතැන තිබුණු රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම අංක එකට තියෙනවා දැක්කම සතුට තව වැඩිවුණා.

 

*තරඟයට හිටපු වෙනත් රටවල යාළුවෝ දුව දිනුවට පස්සේ මොකද කිව්වේ?

රටවල් 22ක තරඟකරුවන් විශාල පිරිසක් ඊට සහභාගි වුණු නිසා ලොකුවට ඒ අය එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒත් අවසානෙදි ඒ අතරින් හුඟාක් යාළුවෝ මගේ ජයග්‍රහණයට සුබ පැතුවා.

 

*තරඟය ජයග්‍රහණය කරලා දුව ලංකාවට ආවට පස්සේ පාසලේ යාළුවෝ මොකද කිව්වේ?

එයාලත් ගොඩාක් සතුටුවුණා. ඒ හැමෝම වගේ සුබ පැතුවා. මගේ ජයග්‍රහණයත් එක්ක යාළුවෝ දැන් ගොඩාක් ආසාවෙන් ගණිතය විෂය ඉගෙනගන්නවා. මං හිතනවා මං ලබාගත් ජයග්‍රහණය එයාලටත් හොඳ අභිප්‍රේරණයක් වුණා.

 

*ජනාධිපතිතුමා හමුවෙන්නත් අවස්ථාවක් ලැබිලා තිබුණා නේද? එතුමා මොකද කිව්වේ?

ඔව් ජනාධිපතිතුමා හමුවෙන්න ලැබීම ජිවිතේ අමතක නොවෙන දවසක්. එතුමා මං ලබාගත්  ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුවා. ඇගයීමක් විදියට එතුමා අතින් මට සම්මානයක් හිමිවුණා.

 

*පාසලේදි දුව හොඳටම ගණන්වලට දක්ෂ ඇති නේද?

(සිනාසෙමින්) ඔව් ඔව් වාර විභාගවලදි උපරිම ලකුණු හැමසැරේම ගන්නවා.

 

*ගණන් ඇරුනම වෙන දක්ෂ මොනවටද?

ගායනය, ලේඛනය සහ කථිකත්වයට හුඟාක් දක්ෂයි. ක්‍රීඩාවක් විදියට මම පිහිනුම් කරනවා.

 

*මේ වගේ වෙනත් තරඟවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අරගෙන තියෙනවද?

ඔව්. කථික, ගායනා, කවි තරඟවලින් බොහෝ ජයග්‍රහණ අරගෙන තියෙනවා. 2023 සහ 2024 සංස්කෘතික අමාත්‍යාංශය විසින් සංවිධානය කරපු ජාතික සාහිත්‍ය උළෙල තරඟවලදිත් මට ප්‍රාදේශීය අන්තර් පාසල් ජයග්‍රහණයන් ලැබුණා.

 

*පවුලේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ආච්චියි. අම්මා නීතිඥවරියක්. තාත්තා වෛද්‍යවරයෙක්.

 

*දුවගේ අනාගත බලාපොරොත්තුව කවුරු වෙන්නද?

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් හරි තාරකා විද්‍යාඥවරියක් වෙන්න හරි ආසාවක් තියෙනවා.

 

රුවන් එස්.සෙනවිරත්න