රට ගැන හිතන රාජ්‍ය සේවයක් අවශ්‍ය කර තිබේ
ආකල්පමය වෙනසක් තුළින් ගුණාත්මක රාජ්‍ය සේවයකට කැපවෙමු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමින් ප්‍රකාශ කොට තිබිණ. දියුණු රටක් ගොඩනැගීමට මෙරට රාජ්‍ය සේවයේ පවතින සියලු දුර්වලතා කඩිනමින් නිවැරදි කර ගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ. ජනාධිපතිවරයාගේ මේ කියමනෙන් හැඟී යන්නේ ඔහුද රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දරන්නේ රටේ බහුතරයක දරන මතයම බවය.
මේ රටේ බහුතරයකගේ අදහස වන්නේ අපගේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවය. දූෂිත බවය. ජනතා හිතවාදී නොවන බවය. මීට පෙර සිටි රාජ්‍ය නායකයන් කීප දෙනකුම අපගේ රාජ්‍ය සේවයට මේ ‘සහතික’ දී තිබේ. චන්ද්‍රිකා ජනාධිපතිනිය වරෙක කීවේ රාජ්‍ය සේවකයන් ගස් බැඳ මඩු වලිගයෙන් තැලිය යුතු බවය. ඇයගේ කතාවල තරම කෙසේ වුවද රාජ්‍ය සේවකයන්ට එසේ කියන්නේ ඔවුන්ගේ සේවයේ තරම ගැන කවුරුත් පැහැදී නැති නිසාය. රාජ්‍ය ආයතනවලින් සේවා සපයා ගැනීමට පැමිණෙන ජනතාවට ලැබෙන සැලකිලි ගැන වීඩියෝ පට කිහිපයක් මේ ඊයේ පෙරේදා ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණ.
1977 න් පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම මෙරට පෞද්ගලික අංශය ශක්තිමත් කරන්නට කටයුතු කර ඇති නමුත් තවමත් පොදු ජනතාවට වැඩි වශයෙන්ම සේවා සැපයෙන්නේ රාජ්‍ය අංශයෙනි. පෞද්ගලික අංශයටද රජයෙන් ලබාගත හැකි සේවා සපයන්නේද රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධීකරණය සිදුවන්නේද රාජ්‍ය අංශය හරහාය. එසේ වුවත් ජනතාව රාජ්‍ය අංශය වෙතින් තම සේවා ලබා ගැනීමට එන්නේ අන් විකල්පයක් නොමැති නිසාය. පෞද්ගලික අංශය කියන්නේද රාජ්‍ය අංශයේ පවතින මන්දගාමීත්වය, අකාර්යක්ෂමතාව මෙන්ම නිලධාරිවාදයද තම ඵලදායීතාව කෙරෙහි අහිතකර ලෙස බලපාන බවය.
අතීතයේ රාජ්‍ය සේවය බොහෝ ගරු ගාම්භීර සේවාවකි. එසේම ඉතාම ගෞරවනීය සේවාවකි. එහෙත් අද වන විට එය ඉතාමත් හෑල්ලුවට ලක් වී රටේ නායකයන්ගේ සේ පොදු ජනතාවගෙන් ද අපහාසයට, උපහාසයට ලක්වන සේවාවක් බවට පත්ව තිබේ. රාජ්‍ය සේවය මෙම තත්ත්වයට පත්වීමට හේතු තිබේ. රාජ්‍ය සේවයේ පිරිහීමෙන් ප්‍රදර්ශනය වන්නේ පොදුවේ සමාජයේ පිරිහීමය. කොතරම් යහපත් අයෙකු වුවත් රාජ්‍ය සේවයට එක් වූ පසු ඒ තුළ පවතින දුර්ගුණ ඔහුටද බෝවේ.
රාජ්‍ය සේවයේ විනය කාර්යක්ෂමතාව තියෙන්නේ AR – FR හෙවත් පරිපාලන විධාන, මූල්‍ය විධාන මතය. මේ AR – FR ගැන විග්‍රහ කරන ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධරයන් කියන්නේ මේ AR – FR යනු ඕනේ නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්, එපා නම් කිසිවක් නොකර ඉන්නට පුළුවන් කොන්දේසි මාලාවක් බවය. මේ නිසාම අද කෙරෙන්නේ AR – FR පිට දමා සේවය නොකර හිඳීමේ පාරක් තනා ගැනීමය.
රාජ්‍ය සේවයේ මේ පිරිහීම පෙරළා සමාජයේ පිරිහීමට හේතුවක් වන්නේය. මේ නිසා රාජ්‍ය සේවයේ පිරිහීමට හේතු වී තිබෙන මූලික සාධක වෙනස් නොවී, ඊට පමණක් හුදෙකලාව වෙනස් වීම අසීරු කාරණයකි.
මේ වන විට රට පා තබා ඇත්තේ පරිවර්තනීය අවදියකටය. මේ නිසා සියලු සාධක යහපත්වන තෙක් නොසිට ගුණාත්මක වෙනසක් සඳහා රාජ්‍ය සේවයද සූදානම් විය යුතුය. රාජ්‍ය සේවය ගුණාත්මක සේවාවක් කිරීමට බොහෝ දේවල් අවශ්‍ය වන්නේ යැයි අප සිතන්නේ නැත. මේ වන විට රාජ්‍ය සේවයේ ශ්‍රම බලකාය ලක්ෂ 15 ක් පමණ වේ. එනිසා ඊට ශ්‍රම හිඟයක් නැත. අතීතයට සාපේක්ෂව රාජ්‍ය සේවයේ බොහෝ අංශයන්ට සාධාරණ වැටුපක් හිමිය. ලබන ජනවාරි මාසයේ සිට විධායක නිලධාරින්ට තවත් රුපියල් පහළොස්දහසක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. දැනුම හා පුහුණුවද තවත් අවශ්‍ය නම් ඊටද පහසුකම් සපයා ගැනීමට අවහිරයක් නැත. වෙනදා මෙන් දේශපාලන බලපෑම්වලට යට නොවී සිටින්නට හැකි වාතාවරණයක්ද නිර්මාණය වී ඇත. එහෙත් බරපතළ අඩුවක් තිබේ. ඒ ආකල්පමය වෙනසකි.
තමන් ඉටු කරන්නේ මහජන සේවාවක් බවත්, රටේ සංවර්ධන ක්‍රියාවලිය තුළ තමන්ටද වගකීමක් පවතින බවත්, එය ජාතික යුතුකමක් බවත් සිතන්නට රාජ්‍ය සේවකයා සූදානම් වන තෙක් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කරන්නට නොහැකිය. රාජ්‍ය සේවකයා තුළ මේ ආකල්පමය වෙනස ඇති කිරීමේලා බරපතළ වගකීමක් අමාත්‍යාංශ ලේකම්වරු වැනි ආයතන ප්‍රධානීන්ට තිබේ. ඇත්තෙන්ම එය ආරම්භ විය යුත්තේ ඔවුන්ගෙනි. ඕනෑම ආයතනයක ප්‍රධානියා නිවැරදි මාර්ගයක යන්නේ නම් ඒ ආයතනයේ සේවකයන්ද ඒ අනුව හැඩගස්වා ගැනීම අසීරු නොවේ.
රාජ්‍ය සේවයේ පිරිහීමට බලපාන බරපතළ දුර්වලකමක් වන්නේ ප්‍රධානියාගේ සිට පහළම සේවකයා දක්වා තම තමනට පැවරෙන වගකීම් ඉටු නොකිරීමය. අවශ්‍ය තැන අවශ්‍ය තීරණ නොගැනීමය. හැම කෙනකුම උත්සාහ කරන්නේ වගකීම තමන්ගෙන් ඉහළට පාස් කිරීමටය. එහෙත් තනතුරුවලට අදාළව ලැබෙන වරප්‍රසාද සමග වගකීමද ගැටගැසී තිබෙන බව විශේෂයෙන්ම ආයතන ප්‍රධානින් සිහි තබාගත යුතුය. තනතුරෙන් තමන් බැබළෙනවා වෙනුවට තමන්ට තනතුර බැබළවිය හැක්කේ එවැනි ප්‍රධානීන්ට පමණය.
වසර 30 ක් තිස්සේ හිඟන්නාගේ තුවාලය බවට පත්ව තිබූ යුද්ධය අවසන් කිරීමට හැකිවූයේ නායකත්වය දුන් ආදර්ශ මගින් ත්‍රිවිධ හමුදාව තුළ ඇති කළ ආකල්පමය වෙනසකිනි. යුද්ධයේදී ඒ වෙනස ඇති කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැන් ජනාධිපතිවරයා ලෙස රටේම එවැනි වෙනසකට මුලපුරා තිබේ. නාස්තිය, දූෂණය තුරන් කර කාර්යක්ෂමතාව වැඩිකර කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා ආදර්ශයක් දෙමින් සිටී. අනවශ්‍ය වියදම් පාලනයට, නාස්තිය, දූෂණය අවම කරන්නට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණ ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය අංශය තුළිනි. අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාය. එනිසා දැන් ඔවුන් මෙතෙක් රාජකාරී කළ ආකාරයේ යම් වෙනසක් කරමින් තමන්ගේ පහළ නිලධාරින්ට ආදර්ශයක් වන ලෙස කටයුතු ආරම්භ කළ යුතුය. ඉන්පසු ඒ පියවර තැබිය යුත්තේ ඉදිරියේදී පත් කිරීමට නියමිත සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් විසිනි. රාජ්‍ය සේවයේ පහළ සේවකයන් කෙසේ වෙතත් ඉහළ සිටින ලේකම්වරු, සභාපතිවරුන් වැනි අය අවශ්‍යයෙන්ම වෙනස් විය යුතුය. රටේ පිරිහීමට දේශපාලකයන් තරමට මේ ඉහළ නිලධාරින්ද වගකිව යුතු බැවිනි. නමුත් ජනප්‍රිය චෝදනාව එල්ල වන්නේ දේශපාලකයන්ට පමණය.
කෙසේ වෙතත් කාර්යක්ෂම ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා ආකල්පමය වෙනසක් කර ගත යුතුය කී පමණින් එය එසේ වනු ඇතැයි කල්පනා නොකළ යුතුය. රජයේ සේවකයන් රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට සැබෑ හැඟීමක්, ඔවුන් තුළ ඇති කළ යුත්තේත්, ඒ සඳහා නිසි පිළිගැනීමක් ඔවුන්ට ලබාදිය යුත්තේත් දේශපාලන අධිකාරිය විසිනි. මෙතෙක් කලක් දේශපාලකයන් කටයුතු කර ඇත්තේ රටත්, එහි සියලු දේත් අයිතිය ඇත්තේ ඔවුන්ට පමණක් යැයි හැඟෙන පරිද්දෙනි. ඒ හැඟීම වෙනස් කළ හැකි නම් එය හොඳ ආරම්භයක් වනු ඇත.