News

රත්ගමදි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (05) දිනයේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වනවා.

ඒ අනුව අත්අඩගුවට ගත් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පොලිස් නිලධාරීන් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.