News

රනිල් සමුගන්න සූදානම්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉතා නුදුරේදීම ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප නායකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

තමන් හැමවිටම පක්ෂයේ බහුතර මතයට සවන් දුන් නායකයකු ලෙස පක්ෂ නායකත්වය අත්හැරීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය සමීප හිතවතුන් සමග පවසා ඇත. වර්ෂ 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති අපේක්ෂත්වය දුන්නෙත් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අවස්ථාව දුන්නෙත් ඒ අනුව බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

මෙවර සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ විපක්ෂයේ බහුතරයේ ඉල්ලීම අනුවය.

දේශපාලනයෙන් සමුගන්නා තමන් ඉදිරියේදී කරන්නට අදහස් කරන්නේ කුමක්දැයි ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශකොට ඇත.