News

රාජ්‍ය ආයතන ලබන සතියේ වැඩ අරඹයි

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සියයට විස්සක්ද, ඇඳිරිනීතිය ඉවත් කරන ප්‍රදේශවල සියයට පනහක්ද සේවකයන් ගෙන්වා ගනිමින් රාජ්‍ය ආයතනවල රාජකාරි කටයුතු ලබන සතියේදී සිදුකිරීමට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (23 වැනිදා) තීරණය කර ඇත.

රාජ්‍ය ආයතනවලට ගෙන්වා ගත යුතු සේවකයන් පිළිබඳව ආයතන ප්‍රධානීන් තීන්දු තීරණ ගත යුතු බව අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි පවසයි. එහිදී රාජ්‍ය ආයතනවලින් වාහන ලබාදී නිලධාරීන් අනිවාර්යයෙන්ම කැඳවීමද අත්‍යවශ්‍ය කරුණක් වෙයි.

ගර්භණී සහ කිරි දෙන මව්වරුන් කාර්යාල පරිශ්‍රවලට කැඳවීම අවම කළ යුතු බව ලේකම්වරයා සඳහන් කරයි. සේවිකාවන් සඳහා සාරිය අනිවාර්ය නොවන අතර සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුබව තීරණය කර ඇතැයි ඔහු අවධාරණය කළේය.

පළාත් පාලන ආයතන යටතේ ආරම්භ කර ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘති සහ ලෝක බැංකු ව්‍යාපෘතිද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

 

උදයජීව ඒකනායක