News

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

රියර් අද්මිරාල් රුවන් පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදු කරනු ලැබූ පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

ගම්පහ, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රුවන් පෙරේරා 1986 පෙබරවාරි 28 වැනිදා ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක්ව ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ ගොඩබිම ආයතනයන්හි විවිධ ප්‍රධාන නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ වේග මගී නෞකා, ගොඩබෑමේ නෞකා, වේග ප්‍රහාරක නෞකා, ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන්හි අණදෙන නිලධාරී ලෙසත්, ගොඩබිම් ආයතන 2ක අණදෙන නිලධාරීවරයා ලෙසත් කටයුතු කර ඇත.

එමෙන්ම, නාවික හමුදා මූලස්ථානයේ විවිධ මාණ්ඩලික සහ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික තනතුරු ද හොබවා ඇති රියර් අද්මිරාල් රුවන් පෙරේරා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන් සහ ආඥාපති ලෙස , නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ලෙස, දකුණු, වයඹ සහ නැගෙනහිර නාවික විධානයන්හි ආඥාපති ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම, රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021මාර්තු 21 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

රුවන් පෙරේරා රණ ශූර පදක්කම ඇතුළු සේවා පදක්කම් ගනණාවකින් සහ ආදර්ශවත් විශිෂ්ට චරිතය සඳහා උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇති දේශපුත්‍ර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.