රු. ලක්ෂ 14ක් වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සදහන් කළේ.
මොහු පුත්තලම, ඉහළ තබ්බෝව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු වල රුපියල් දහ හතර ලක්ෂයක් වටිනා දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් සහ දුම්වැටි 4,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 22 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසුවේ.
නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ , ජේෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මෙම ව්‍යාපාරිකයා සහ ඔහු රැගෙන ආ මෙම දුම්වැටි තොගය ලබන 14 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අවශ්‍ය කටයුතු යොදමින් සිටිනවා.