රු. විසිදහසක අල්ලසක් ගත් උප පොලිස් පරීක්ෂකවරයාට වසර 4ක සිර දඬුවමක්
රුපියල් 20,000 අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාට වසර හතරක සිර දඬුවමක් අද (12) නියම කළේ ය.
එම සිර දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනි.
2011 ජුනි මස පළමු වැනිදා නීතිවිරෝධි මත්පැන් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් විසි දහසක අල්ලස් ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ අනුව, විත්තිකරුට රුපියල් දස දහසක දඩයක් ද නියම කළ කොළඹ මහාධිකරණය අල්ලස් මුදල වන රුපියල් විසිදහසක දඩුවම් ගාස්තුවක් ගෙවන ලෙසට ද නියම කළේ ය.