News

රේසින් මෝටර් රථයක් නිර්මාණය කරන්න ජනපති රු. මිලියන 06ක් පරිත්‍යාග කරයි

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන “ෆෝමියුලා ස්ටුඩන්ට් 2019” මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මණය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුකර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙය සිදුවූ බවයි.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු මාසයේ දී ජර්මනියේ හොකන්හයින්හිදී පැවැත්වීමට නියමිතයි.

මෙය සංවිධානය කර තිබෙන්නේ අන්තර්ජාතික මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය විසින්.

නව මෝටර් රථයේ නිර්මාණ කටයුතු 2019 අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර, පැවති මූල්‍ය දුෂ්කරතාවය හේතුවෙන් එම සිසුන් මහත් අසීරුතාවයට පත්ව සිටියා.

නවෝත්පාදනයෙන් ඉදිරියට යමින් දැයේ දරු පරපුරට හෙට ලොව දිනන්නට නිරන්තරයෙන් අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන ජනාධිපතිතුමා සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කිරීමට පියවර ගත් අතර, අදාළ චෙක්පත කණ්ඩායම් නායක නිරංග මයුරන් සිසුවා වෙත පිලිගන්වා තිබුණා.