නවතම ප්‍රවෘත්ති

රෝසිගෙන් පසු කොළඹ මහනගර සභාවේ මහ පුටුවකට පළමු වරට කතක් ඇවිත්

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හර්කියුලිස් රොබින්සන්ගේ මූලිකත්වයෙන් මෙරට කොළඹ මහනගර සභාව ස්ථාපිත වූයේ 1866දීය. එතැන සිට වසර 158ක් පුරාවට මෙරට ආර්ථික කෙන්ද්‍රස්ථානය වූ කොළඹ පුරවරයේ පළාත් පාලනය බාරව ඇත්තේ කොළඹ මහනගර සභාවටයි. ලංකාවේ වැඩිම ජනගහනය සහිත කොළඹ පාලනය පහසු නැත. එකී භාරදූර කාර්යයක් ගැහැනු අතකට පහසු නොවේ යැයි සිතූ නිසාදෝ ආරම්භයේ සිට නොකඩවා වසර ගණනාවක් පුරපති පුටුව දැරූවෝ පිරිමිය. එහෙත් 2018 වසරේ රෝසි සේනානායක ඔය සම්මතය වෙනස් කළේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ පුරපති පුටුවේ වාඩිවෙමිනි. එයින් තවත් වසර කිහිපයකට පසු මේ කියන්නට යන්නේ කොළඹ මහනගර සභාවේ කතුන් නොදැරූ ඉහළ පුටුවක ඉතිහාසයේ ප්‍රථම වතාවට හිඳගත් තවත් කාන්තාවක් ගැනය. ඒ පසුගිය දිනෙක කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී තනතුරට පත්වූ වෛද්‍ය ගීතීකා රත්නවර්ධන ගැනය.

“මම කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. 1991දී මම මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරිනිය විදියට කොළඹ මහනගර සභාවේ වැඩ බාරගත්තා. ඊටපස්සේ 2000දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුරට පත්වුණා. 2014 අවුරුද්දෙදි කොළඹ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුරට පත්වුණේ එහෙම කාලයක් වැඩ කරද්දි. මෙතෙක්කල් කොලඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විදියට කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණී මහත්මයා විශ්‍රාම ගියාට පස්සේ පසුගිය පෙබරවාරි 19 වැනිදා ඒ තනතුර මට ලැබුණා.”

මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගේ පලපුරුද්ද වසර 33කි. සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුර හිමිවන්නේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරියාටයි. වෛද්‍ය ගීතිකාට මේ තනතුර ලැබුණේ ඒ පටිපාටියට අනුවය. 

“මීට කලින් ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සියලුම දෙනාම පිරිමි. ඉතින් ලංකාවේ පළවැනි වතාවට මේ තනතුරට පත්වුණ කාන්තාව වෙන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.”

කොළඹ මහනගර සභාව ආසියාවේ පැරණිතම නගර සභාවය. සෞඛ්‍ය අමාත්‍යංශයවත් ස්ථාපිත නොමැති යුගයක සිට කොළඹ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය පැවරෙන්නේ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. වෛද්‍ය ගීතිකා රත්නවර්ධන දැන් ප්‍රධානී වන්නේ ඒ කියන දෙපාර්තමේන්තුවටයි.

“කොළඹ මහනගර සභාවට අයත් ජනතාවගේ සෞඛ්‍ය ගැන බලන එකයි අපේ දෙපාර්තමේන්තුවට පැවරිලා තියෙන රාජකාරිය. මේ බලප්‍රදේශයේ අඩුආදායම්ලාභී ජනාවාස 1500ක් විතර තියෙනවා. අපි ඒ සියලුදෙනාගේ සෞඛ්‍ය ගැන සොයා බලනවා. ඩෙංගු පාලනය, ළමා හා මාතෘ සුබසාධනය, ක්ෂය රෝගය, ලාදුරු වගේ රෝග පාලනය තියෙන්නේ අපි අතේ. අගනුවර සෞඛ්‍ය රැකගන්න එක බොහොම වැදගත් දෙයක්. උදාහරණයක් විදියට කොවිඩ් කාලේ වෙනත් රටවල් ඉක්මනින් කඩාවැටුණේ අගනගරයට රෝගය බෝවුණු නිසයි. හැබැයි අපේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කැපවෙලා වැඩ කෙරුව නිසා රෝගය යම්තාක් දුරට පාලනය කරගන්න ලැබුණා. ඇත්තම කිව්වොත් ඒ කාලෙදි අපිට හරිහමන් නින්දක්වත් නැතිවයි වැඩ කළේ.” 

කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවුරුදු 33ක සේවා කාලය තුළ ඈ කළ වැඩ බොහෝය.

“කොළඹ මහනගර සභාවේ 150 සංවත්සරය වෙනුවෙන් වගේම 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රැස්වීම ලංකාවේ තිබුණු වෙලාවෙත් මම ක්‍රියාකාරී සාමාජිකාවක් විදියට වැඩ කළා.”

පසුගිය වකවානුවේ ඇතිවූ ආර්ථික අවපාතය සමඟ රට පුරා ජනතාවට ආහාර හිඟයක් ඇතිවූ බව රහසක් නොවේ. කොළඹ බල ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල්වලට නොමිලේ ආහාර දුන් ‘ප්‍රජා මුළුතැන්ගෙය’ සංකල්පය සිදුවූයේ වෛද්‍ය ගීතිකාගේ අදහසකට අනුවය. 

“කාන්තාවන්ට වගේම අඩුආදායම්ලාභී ජනාවාසවල ජනතාවටත් අපි ලොකු අවධානයක් දෙනවා. මෑතකදී අපි ‘සුව දිවිය’ කියලා වැඩසටහනක් කළා. ඒකෙන් කළේ බෝවන හා බෝ නොවන රෝග ගැන ඒ ජනතාව දැනුවත් කරපු එකයි. ඉස්සර අඩු ආදායම්ලාභී ජනාවාසවල මිනිස්සුන්ට වතුර, වැසිකිළි පහසුකම් වගේ දේවල් තිබුණේ නැහැ. හැබැයි දැන් ඒ අයටත් ඒවා තියෙනවා. වෘත්තීය පුහුණුවක් දීලා ඉදිරියේදී එයාලට රැකියාවලට යොමු කරන්නත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.”

මේ ඇය කීවේ ඈ කලින් සම්බන්ධ වුණු වැඩ ගැනය. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ලෙස ඉදිරියේදී තවත් වැඩ අටෝරාශියක් කිරීමට ගීතිකා සූදානම්ය. ඇමරිකාවේ UNFCU ආයතනයේ ආධාර ඇතිව මාර්තු පළවැනිදාට අතගසන අලුත් ව්‍යාපෘතියක් ගැනද ඈ අපට කීවාය.

“කොළඹ නගරයේ හිංසනයට ලක්වුණ කාන්තාවන්ව කෙටිකාලීනව රඳවාගන්න අපි තැනක් හැදුවා. එතැනදී ඒ අයගේ මානසිකත්වය හදන්නත් අපි කටයුතු කරනවා.”

අවුරුදු 33ක් තමා ගැන සොයා බැලූ මේ වෛද්‍යවරියව කොළඹ අස්සක් මුල්ලක් නෑර ජනතාව අඳුරති. කොළඹ අඩු ආදායම්ලාභී ජනාවාසවල මිනිසුන් වූවත් ඈට බොහෝ හිතවත් බවයි වෛද්‍ය ගීතිකා කීවේ.

“ඉතින් ඒ ජනතාවගෙන් මගේ ඉදිරි වැඩවලට ලොකු සහායක් ලැබේවි. එයාලා එක්ක එකතුවෙලා කොළඹ නගරය ලෙඩ රෝග නැති නගරයක් කරන එකයි මගේ අරමුණ. ඒ වැඩේට මට මගේ පවුලෙනුත් ලොකු සහායක් ලැබෙනවා.”

වෛද්‍ය ගීතිකාගේ සැමියා කොළඹ නගර සභාවේ හිටපු අධ්‍යක්ෂක ඉංජිනේරු ජයන්ත අලුත්ගම ගුරුගේ මහතායි. එවකට කොළඹ මංමාවත් සුන්දර කිරීමටත්, ශරීර සුවතා මංතීරු සෑදීමටත් මූලිකත්වය ගත්තේ ඔහුයි. වෛද්‍යවරියට දියණියක් දෙදෙනෙකු වන අතර වැඩිමහල් දියණිය කොළඹ මහනගර සභාවේ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරිය වන අතර කොවිඩ් සමයේදී කොළඹ කොවිඩ් මර්ධනයට බරපැන දැරූ වෛද්‍යවරියකි ඇය.

“පොඩි දුව ඉංජිනේරුවරියක්. අපේ පවුලේ තුන්දෙනෙක්ම කොළඹ මිනිසුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කරපු අය. ඉතින් මට ලැබුණ තනතුර ගැන ඒ අයට හරි සතුටුයි. මගේ වෘත්තියේ කාර්යබහුලත්වය නිසා දුවලා දෙන්නා එක්ක ගොඩක් වෙලාවට ගත කරන්න මට ඉඩ ලැබුණේ නැහැ. හැබැයි  මම ඒ කාලය කැපකළේ රටේ මිනිස්සු වෙනුවෙන්. දූලත් ඒක දැකපු නිසා දැන් ඒ අයත් අනිත් අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් ඒ අයගෙන් ඉදිරියටත් මට ලොකු සහායක් ලැබේවි.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි