News

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග කඩිනමින් ආනයනය කිරීමට පියවර

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඇතැම් ඖෂධ මේ වන විටත් දිවයිනට ගෙන්වා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ.

හිඟව පැවති ජල භීතිකා ප්‍රතිශක්තීකරණ එන්නත් තොගයක් සහ වකුගඩු බද්ධ කළ රෝගීන් සඳහා ලබා දෙන හිඟව පැවති ඖෂධය ද මේ වන විට දිවයිනට ගෙන්වා තිබෙනවා.

ජල භීතිකා ප්‍රතිශක්තීකරණ එන්නත් තවත් තොගයක් ලබන සිකුරාදා ලැබීමට නියමිතව ඇති බවයි ඒ මහතා සදහන් කළේ.

මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ හිඟව පැවති ඖෂධ වර්ග 15ක් අතුරින් 7ක් කඩිනමින් ගෙන්වීම සඳහා පියවර ගෙන තිබෙනවා.

ඉන් ඖෂධ වර්ග 4ක් මේ වන විටත් දිවයිනට ලැබී ඇති බව ද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළා.

දින 51ක් පැවති රජය සමයේ ඖෂධ මිලදී ගන්නා ටෙන්ඩර් ක්‍රියාවලිය බිඳ වැටීම ඇතැම් ඖෂධ හිඟ වීමට හේතු වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.