News

ලක්ෂ 24ක් වටිනා රන් බිස්කට් තුනක් සමග ගුවන් මගියෙක් කටුනායකදී අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මොහු කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.

මෙම ව්‍යාපාරිකයා අද උදෑසන 9.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ – 1201 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු තමන් හැද සිටි කළිසමේ සාක්කු වල රුපියල් 24,48,600 ( විසි හතර ලක්ෂ හතලිස් අට දහස් හයසියයක් ) ක් වටිනා ග්රෑම් 233 ක් බර මෙම රන් බිස්කට් තුන සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.