News

ලබන වසරේ මාස 4කට බිලියන 1474ක අතුරු සම්මත ගිණුමක්

ලබන වසරේ පළමු මාස හතරට රජයේ වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1474ක් ඉල්ලා මෙම 23 වැනිදා මුදල් ඇමැති මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරණය නිසා ලබන වසර සඳහා මෙවර අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකරන නිසා මංගල සමරවීර විසින් මෙසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරයි.

අතුරු සම්මත ගිණුම 23දා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳ විවාදය එදින සවස 6.30 දක්වා පවත්වනු ලබයි.

විවාදය අවසානයේ ඡන්ද විමසීමක් සිදු කරයි. අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය දීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර ‘අරුණ’ ට ප්‍රකාශ කළේය.

රජයේ අතුරු සම්මත ගිණුමට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේය.

අජිත් අලහකෝන්