News

ලාංකිකයන්ගේ දියුණුවට ජපානයෙන් මුදල් පරිත්‍යාගයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සමාජ ආර්ථික ප්‍රතිසංවිධානයට සහාය වීම සඳහා ජපානය යෙන් මිලියන 187ක් (රුපියල් මිලියන 340ක්) ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව කොළඹ ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුග්යාමා අගිරා සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී සරත් ඩෑෂ් අතර තානාපති නිල නිවසේදී මීට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදුව ඇත. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වාද මෙම අවස්ථාවට සහභාගි වී ඇත.

තානාපති සුගියාමා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ඇතිවන අභියෝග ජයගැනීම සඳහා දිගු කාලීන සුහද හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ජපානය සූදානම් බවයි.

කොවිඩ් අභියෝග හමුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සමාජ, ආර්ථික, තත්ත්වයන් ප්‍රකෘතිමත් කිරීම සඳහා මෙම පහසුකම ඉඩ සලසනු ඇතැයි ජපානය බලාපොරොත්තු වේ.

මෙම ආධාරයට අමතරව කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා මේ වන විටත් ජපානය ​ඩොලර් මිලියන 9.6ක (රුපියල් කෝටි 188ක) ආධාර ලබා දී ඇත.

නයන තරංග ගමගේ