ලෝක බැංකුවට එරෙහිව ලංකාව දෙවන වරටත් පැමිණිලි කරයි
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ඇතිවූ පරිසර හානිය පිළිබඳව පරිසරවේදීන් විසින් ලෝක බැංකුවට එරෙහිව කළ පැමිණිල්ල ඊයේ (23) විභාගයට ගැණුන බව “සිංහරාජය උදෙසා ජන පවුර” පරිසර සංවිධානය පැවසීය.
මීට මාස තුනකට පමණ ඉහතදී එම පරිසර සංවිධානය විසින් ලොක බැංකු පැමිණිලි කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විභාග කිරීම ආරම්භ කෙරිණි.
ඒ අනුව වොෂින්ටන් නුවර ලෝක බැංකු විමර්ශන කමිටුව සමග පැවති පළමු සාකච්ඡාවේදී අදාළ පරිසර සංවිධානයේ එක් සාමාජිකයෙකුට පමණක් ඊට සහභාගී වීමට අවස්ථාව ලැබී තිබිණි. මේ හේතුවෙන් කණ්ඩායමක් ලෙස සියලුදෙනා එක්ව පාමිණිල්ල විභාග කිරීමේ අවශ්‍යතාවය මත එය යළි එළඹෙන 29 වැනි දින වොෂින්ටන් වේලාවෙන් උදේ 10.00 ට රැස්වීමට තීරණය කර ඇත. ඒ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීමට නියමිතය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ESCAMP ව්‍යාපෘතිය යටතේ සිංහරාජයේ පිවිසුම් දොරටුව අසලින් මෙම මාර්ගය ඉදිකිරීම ආරම්භ කෙරුණේ මීට වසරකට ඉහතදීය. කිලෝමීටර දෙකක් පමණ වන මෙම මාර්ගය සඳහා මූල්‍යමය ආධාර ලෝක බැංකුවෙන් ලැබී තිබිණි. ඒ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය වෙනුවෙනි. නමුත් මෙම පාර කැපීමේ මූලික අරමුණ වී ඇත්තේ සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමේන් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම බව “සිංහරාජය උදෙසා ජන පවුර” පරිසර සංවිධානය “අරුණට” පැවසීය. කාපට් ඇතිරූ මාර්ගවල මෝටර් රථවලින් ගොස් ලෝක උරුමයක් වූ සිංහරාජ වනය නැරඹීම විහිළුවක් බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මෙයින් වන පරිසර හානිය පෙන්වාදෙමින් මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යවරයා මෙන්ම යුනෙස්කොවටද දැනුම් දී ඇති නමුත් ඊට නසි ප්‍රතිචාර නොලැබ ඇත. නමුත් මෑතකදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියට අවසර නොදුන් බව ලිපියක් මඟින් “සිංහරාජය උදෙසා ජන පවුර” පරිසර සංවිධානය වෙත දැනුම් දී තිබේ.
මීට පෙර එක් අවස්ථාවකදී ලෝක බැංකු පැමිණිලි කොමිසමට ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර එය ජා ඇල ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීමේදී අගතියට පත් පිරිස විසින් ඉදිරිපත් කරන ලද්දකි.
ශිරන්තනි මානවඩු
