News

වතු කම්කරුවන් දින 08ක් පුරා ගෙන ගිය වර්ජනය අත්හරී

වතු කම්කරුවන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කරයි. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසා දමයි.
තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් දින 8 පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (12) සිට අත්හරින ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසය වතු කම්කරුවන්ට දැනුම් දි ඇත.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ලංකා කම්කරු කොන්ග්‍රසය ඊයේ (11) රාත්‍රි ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති සාකච්ඡාවකදි වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන දෛනික මුලික වැටුප සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ජනාධිපතිරයා දැනුවත් කිරිමෙන් අනතුරුව ලබන 19 වෙනි දින වතු සමාගම් සමග සාකච්ඡා කර වතු කම්කරුවන් සාධාරණ වැටුපක් ලබාදිමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත්, වැඩ වර්ජනය හේතුවෙන් තේ ආර්ථිකයට සිදුවෙන බලපැම් නිසා වැඩ වර්ජනය අත්හරින ලෙස ජනාධිපතිවරයා කල ඉල්ලිමක් මත අද (12) සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හරින බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා විසින් වතු කම්කරුවන්ට වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය අත්හරින ලෙස කල ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කර තිබුණි.

වතු ගණනාවකම වතු කම්කරුවන් අද(12) දින සේවයට වාර්තා නොකල බව වතු අධිකාරිවරුන් කියා සිටියි. වතු කම්කරුවන් සේවයට වාර්තා නොකිරිම හමුවේ තේ කර්මාන්ත ශාලා වසා දමා ඇති ආකාරයක් අප කැමරාවේ සටහන් වුණා.

වතු කම්කරුවන් දින 8 පුරා සිදු කල වැඩ වර්ජනය හේතුවෙන් වතු සමාගම්වලට රු බිලියන 175 ක පාඩුවක් සිදු වි ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

හැටන් – රංජිත් රාජපක්ෂ