News

වනාතවිල්ලුව පුහුණු කඳවුරේ රහස එළියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වනාතවිල්ලුව – මංගළපුර ප්‍රදේශයේදී වැටලූ කඳවුර කිසියම් අන්තවාදී කණ්ඩායමක පුහුණු කඳවුරක් බවට සැක කරන අතර එය එහි සථාපිත කිරීමට හේතුවූ කරුණු රැසක් පිළිබඳ තොරතුරු වාර්ථා වේ.

ඉකුත් 16 වැනිදා රාත්‍රියේ මෙම වැටලීම සිදු කර පුද්ගලයින් සිවි දෙනකු අත්අඩංගුවට ගත් අතර එහි තිබී පුපුරණ ද්‍රව්‍ය අැතුළු භාණ්ඩ රැසක් සොයාගෙන ඇත. එම ඉඩමේ තිබී සීෆෝ වර්ගයට ඉතා සමාන පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක්, ඩෙටනේටර් 100ක් පමණ අඩංගු පෙට්ටියක්, වයර් තොගයක්, මෙරටට ගෙන්වීම තහනම් කර ඇති නයිට්‍රේට් ලීටර් 20 බැගින් අඩංගු කෑන් 06ක්, බෝර 12 ගිනි අවියක්, එම ගිනි අවියට යොදන පතුරම් තොගයක්, වයර් කෝඩ් කීපයක්, විශාල කූඩාරම් 02ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී දැනට පලා ගොස් සිටින සැකකරුවන් දෙදෙනා සෙවීමට යාමේදී මෙම අන්තවාදී පුහුණු කඳවුර හමුවී තිබේ.

පුපුරණ ද්‍රව්‍ය සහ නයිට්‍රේට් තොගය වළ දමා තිබී ඇත. එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහ නයිට්‍රේට් කිසියම් ප්‍රමාණයක් පාවිච්චි කර ඇති බවට සළකුණු ඇති නමුත් ඒ කුමක් සඳහාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. එම ස්ථානයේ තිබී හමුවූ කුඩාරම් දෙක සහ වියළි සළාක තොගය සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ විශේෂ අවධානයක් යොමු කර ඇත. කිසියම් කණ්ඩායමක් මෙම ස්ථානයට ගෙන්වා නේවාසික පුහුණුවීම් කිරීමක් සිදු කිරීමට කටයුතු කර තිබුණේද යන්න විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් වටලා ඇති ඉඩම පිහිටා ඇත්තේ ජන ශූන්‍ය පුත්තලම කලපුවට ආසන්න ප්‍රදේශයකය. එමෙන්ම මෙම ඉඩමේ සරුසාර පොල් ගස් ඇතත් ඒවාට නිසි සාත්තුවක් සිදු කර පලදාව නෙළා නොමැත්තේ ඇයිද යන්නද ගැටලුවක් බවට පත්ව ඇත. මෙම ස්ථානයේ බෝම්බ නිෂ්පාදනය කිරීමට සූදානම් වූවානම් සී‍ ෆො වළට සමාන පුපුරණ ද්‍රව්‍ය සහ නයිට්‍රේට් රසායණික ද්‍රව්‍ය ඒ සඳහා යොදා ගත හැකි නමුත් ඒ සඳහා තවත් එක් දෙයක් එක් කළ යුතු බවට රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කරන නමුත් ඒ කුමක්ද යන්න හෙළි කර නැත. ඇතැම් විට කලපු ආශ්‍රිතව ඇති ලුණු ලේවාවලින් ඉවත් කරන වෙඩි ලුණු එම ද්‍රව්‍ය වීමට ඉඩ ඇති බව අප කරන ලද විමසීමකදී ආරක්ෂක අංශ නිලධාරියකු පැවැසීය.

එමෙන්ම භාවිතයෙන් ඉවත් කරන පැරණි වාහන බැටරි ගෙනවිත් ඒවා කඩා ඊයම් ලබා ගැනීමද වනාතවිල්ලුව ප්‍රදේශය තුළ බහුලව සිදු කෙරේ. පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවූ ඉඩමට ඉතාමත්ම ආසන්නයෙන්ද පරණ බැටරි කඩා ඊයම් ලබා ගන්නා ස්ථානයක් ඇති බවටද තොරතුරු ලැබී ඇත. ඇතැම් විට මෙම ස්ථානයේ කිසියම් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයක් හෝ කණ්ඩායමක් සඳහා ඒ සම්බන්ධ පුහුණුවක් ලබා දීමට අදහස් කර තිබුණේ නම් එකී කරුණු අනුව එය ඉතා පහසු කටයුත්තක් බවද විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් සදහන් කරයි.

ඊට අමතරව ප්‍රදේශයේ බහුලව ඉස්සන් කොටු පිහිටීම නිසා එහි පැමිණෙන දියකාවුන් හා කොක්කුන් එළවීමට රතිඤ්ඤා පිපරවීමත්, පොල්වතුවලට පැමිණෙන දඬුලේනුන් හා රිලවුන් පළවා හැරීමට වායු තුවක්කුවලින් නිතර වෙඩි තැබීම නිසා පුහුණු කඳවුරක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබේ.දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ අයවළුන්ද, ඒ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් තම අවධානය යොමු කර ඇත.

ජුඩ් සමන්ත