වල් අලි කරදරයෙන් වසර 20කට වැඩි කාලයක් බැට කන පුලියන්කුලම ජනතාව
වල් අලි පැමිණ ගම්මානයේ වගා විනාශ කිරීම හේතුවෙන් තමන්ට ජිවත්වීමට පවා නොහැකි තත්වයක් උදාවි ඇති බව කැබිතිගොල්ලෑව,පුලියන්කුලම ගම්වාසීන් පවසයි.
ගම්වාසීන් පැවසුවේ වල් අලි ගම්වැදී ගම්මානයේ ගොවි ජනතාව වගා කළ කෙසෙල්,පොල් ඇතුළු සියළු වගාවන් මේ වන විට විනාශ කොට ඇති බවයි.
ගම්මානයේ වල් අලි උවදුර සම්බන්ධයෙන් වසර 20 කට වැඩි කාලයක් බළධාරීන්ට දැනුම්දුන්නද බළධාරීන් හරහා වල් අලි උවදුර වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොලැබුණ බවද ගම්වාසීන් පැවසීය.
ගම්මානය වටා අලි වැටක් හෝ ඉදිකොට ගම්මානයේ ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරදෙන ලෙසත්,එසේ නොවුනහොත් දැනට ගම්මානයේ ඉතිරිව සිටින පිරිස ගම්මානය හැරයන කාලය වැඩි ඈතක නොවන බවද ගම්මානයේ ජනතාව පැවසූහ.
ගම්මානයේ වගාවන් පමණක් නොව නිවාස වෙතද වල් අලි පහරදී හානියට පත්කොට ඇති බවද ගම්වාසීන් පවසති.
ගම්වාසීන් වැඩිදුරටත් පැවසුවේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව මේ වන විට වල් අලි කරදරයෙන් පීඩාවට ලක්ව සිටින අතර වල් අලි කරදරය හේතුවෙන් මේ වන විට ගම්වාසීන් ලක්ව සිටින පීඩාව සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ කිසිවෙකුත් නොපැමිණෙන බවයි.
වවුනියාව – මාධව කුලසූරිය

