News

ව්‍යාජ ලේඛන සමග දෙහිවල විදෙස් රැකියා ආයතනයක සැකකාරියක් කොටු

කැනඩාවේ උසස් අධ්‍යාපන වරම් ලබාදෙන බව කියමින් ව්‍යාජ ලේඛන සකසා රුපියල් කෝටි ගණනක් වංචා කළ දෙහිවල විදේශ රැකියා නියෝජිත ආයතනයක් වැටලූ පොලිසිය සැකකාරියක සමග විදේශ ගුවන් ගමන් බලපත්‍ර තිහක්, ව්‍යාජ ලිපිලේඛන අඩංගු ලිපිගොනු තිස්පහක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර පෙරේදා (7 වැනිදා) මෙම ස්ථානය වටලා තිබේ.

මෙහිදී එහි සේවය කළ විසි දෙහැවිරිදි සේවිකාවක් සමග විදේශ ගුවන් ගමන් බලපත්‍ර, ව්‍යාජ ලිපිලේඛන, පරිගණක දෙකක්, මුද්‍රණ යන්ත්‍ර දෙකක්, ව්‍යාජ නිල මුද්‍රාවක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් එක්කෝටි අනූපන්දහසක් සහ රුපියල් හාරලක්ෂ හතළිස් එක්දාහසක් වංචා කිරීමක් සම්බන්ධව ලද පැමිණිලි දෙකක් මත ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශනය අරඹා තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා