News

වාස් ගුණවර්ධනගේ අභියාචනා මාර්තු මස 12දා කැඳවයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා මාර්තු මස 12 වනදා කැඳවන ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.

ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෂියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින බැවිනි.

එම අභියාචනා පෙත්සම් අද (06) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළව ලැබිය යුතු ලේඛන තමන් වෙත ලැබුණේ අද පෙරවරුවේ බවත් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් අවශ්‍ය බවත්ය.

ඒ අනුව මෙම ලේඛන වල යම් අඩුපාඩුවක් තිබේ ද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම් මාර්තු මස 12 වනදා කැඳවීමට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.