News

වාස් ගුණවර්ධනගේ අභියාචනා මැයි මස 21 විභාගයට

කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා මැයි මස 21 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම අභියාචනා පෙත්සම් අද (12) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

මෙහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම අභියාචනා විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ දී මරා දැමීමේ චෝදනා වලට වරදකරු කෙරුණු හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවනු ලැබුවේය.