News

වාහන ආනයනයට එකඟත්වයක් නැති බව ආනයනකරුවෝ කියති

2021 මාර්තු 10 දින ‘අරුණ’ පුවත්පතේ මුල් පිටුවේ ‘‘කෝටා ක්‍රමයකට වාහන ආනයනයට ඉඩ- එකඟතාවකට පැමිණේ’’ යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අප වෙත පැහැදිලි කිරීමක් ලබාදී ඇත.

එම සංගම් දෙකේ සභාපතිවරුන්ගේ අත්සනින් ලබාදී ඇති එම පැහැදිලි කිරීමේ දැක්වෙන්නේ 2021/මාර්තු04 වැනි දින ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී කෝටා ක්‍රමයට වාහන ආනයනය කිරීමට එකඟතාවකට නොපැමිණි බවත් ‘අරුණ’ පුවත්පතේ පළව ඇති වාර්තාව සාවද්‍ය බවත්ය.

කර්තෘ සටහන –

මෙහි සඳහන් සංගම් දෙක අප වෙත ලබාදී ඇති පැහැදිලි කිරීම පුවත්පතේ පළකිරීම සම්බන්ධයෙන් වන වෘත්තීය බැඳීමක් අපට නොමැති බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ යුතුය. ඊට හේතුව මෙම ප්‍රවෘත්තියට අදාළව කිසිදු ස්ථානයක අප මෙම සංගම් පිළිබඳ සඳහන් කර නොමැති බැවිනි. එහෙත් අදාළ සාකච්ඡාවට තම සංගම් නියෝජිතයන් සහභාගි වූ බව ඔවුන් ප්‍රකාශ කර ඇති බැවින් එය පාර්ශ්වයක් සේ සලකා සදාචාරසම්පන්න බව ආරක්ෂා කරමින් ඔවුන්ගේ පැහැදිලි කිරීම පුවත්පතේ පළකළ බව සඳහන් කළ යුතුය.

ප්‍රවෘත්තිය පිළිබඳව සැලකීමේදී එය අන්තර්ගත තොරතුරුවල සත්‍යතාව අපි තවදුරටත් තහවුරු කර සිටිමු. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙරටට නැවත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරී ඇති අතර ඩොලර් වටිනාකමක් මත පදනම් කෝටාවකට අනුව වාහන ආනයනය කිරීමට පවතින හැකියාව පිළිබඳවද එහිදී වැඩි අවධානයක් යොමුව ඇත. සාකච්ඡාවට එක්වූ ආනයනකරුවන්ගෙන් පිරිසක් එම කෝටා ක්‍රමයට කැමැත්ත පළකර ඇති අතර එම ක්‍රමයේදී තමන්ට සිදුවන අවාසිදායක තත්ත්වයන් පිළිබඳව සලකා තවත් පිරිසක් ඊට විරෝධය පළ කර ඇත. මේ නිසා මෙම යෝජනාව පිළිගෙන ඔවුන්ගේ වැඩිදුර යෝජනා ඉදිරිපත් කිරීමට ආනයනකරුවන්ට සති​ දෙකක කාලයක් ලබාදී ඇත. අප ඒ බව ප්‍රවෘත්තියේ පැහැදිලිව සඳහන් කර තිබේ.