News

විදෙස් රටවල සිට පැමිණෙන්නන්ට නිරෝධායන රෙගුලාසි වෙනස් වෙයි

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන නීති රේගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

කොරෝනා එන්නත් ලබා නොගෙන පැමිණෙන මගීන් සදහා

කොරෝනා එන්නත් ලබා නොගෙන මෙරටට පැමිණෙන මගීන්ගේ හෝටල් නිරෝධායන කාලය දින 7 කට අඩුකර ඇත.

එලෙස පැමිණෙන මගීන් පළමු දිනයේදී සහ 7 වන දිනයේදී PCR පරික්ෂණයකට යොමු විය යුතුයි.

එම පරික්ෂණ දෙකෙන්ම එම පුද්ගලයින් කොරොනා ආසාදනය නොමැති බව තහවුරු වුවහොත් හත්වන දිනයේදී ඔවුන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇති.

දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයේ සෙසු දින ගණන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධික්ෂණය යටතේ නිවෙස් නිරෝධායනය විය යුතු වේ.

කොරෝනා එන්නත් ලබාගෙන සති දෙකකින් පසු පැමිණෙන

එමෙන්ම කොරෝනා එන්නත් ලබාගෙන සති දෙකකින් පසු දිවයිනට පැමිණෙන මගීන් සඳහා වෙනස් නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.

මෙහිදී එන්නත් ලබාගෙන පැමිණෙන මගීන් ගුවන් තොටුපළ වෛද්‍ය නිලධාරී වෙත එන්නත්කරණ සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළයුතු අතර එය ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් තිබේ නම් අනුමත කළ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.

එවැනි මගීන් රජයේ බළධාරින් විසින් නිරෝධායන හෝටල් හෝ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ඇති.

මෙම මගීන් දිවයිනට පැමිණ පැය 24 ක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය රසායනාගාරයක් මගින් පී සී ආර් පරික්ෂණයක් කළ යුතුයි.

ප්‍රතිඵල ලැබීමෙන් පසු එම පුද්ගලයින් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරේ.

සිය පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් ඔවුන් නිවෙස් වෙත යා යුතු අතර සිය නිරෝධායන කටයුතු පිළිබද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කළ යුතුවේ.

මොවුන් එන්තත්කරණය අවසන් කර ඇති බැවින් තවදුරටත් නිරෝධායනය අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය.

දිවයිනට පැමිණෙන සියලුම මගීන් සදහා

කෙසේ වෙතත් සියලු මගීන් දිවයිනට පැමිණ 7 වන දිනයේදී නැවත වරක් පී සී ආර් පරික්ෂණයකට යොමු විය යුතු වේ.

පොදු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන මගීන් පළමු දිනයේදී සහ 10 වෙනි දිනයේදී පී සී ආර් පරික්ෂණයට යොමු කළ යුතුයි.

එම පරික්ෂණ දෙකෙන්ම කොරොසා ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් 10 වන දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරේ.

සෙසු දින 4 ඔවුන් නිවෙස් නිරෝධායනයේ සිටිය යුතුයි.

එම නිවේදනය පහතින් වේ….