News

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වීමට කටයුතු කෙරුණේ අගමැතිගේ ඉල්ලීමට

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අදත් තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එය අතපසු කළේ තමා නොවන බවත් පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනය කර ඇති මෙම මොහොතේ ඊට උත්සාහ දැරීම විහිලුවට කරුණක් බව ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවය.

මේ දිනවල මාධ්‍යවල පළවන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ හඬ පටය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා සිහිපත් කළේ ඇය සිය තනතුර අතහැර ගියේ තම අනුදැනුමකින් තොරව බවය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21දා) පස්වරුවේ නාවුල දී පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.