News

විමල් ඇතුළු 06දෙනෙකුට එරෙහි නඩුව ලබන පබරවාරි දක්වා කල්යයි

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලැබූ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ මූලස්ථානය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කර මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි මස 17 වනදා තෙක් කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (04) නියෝග කළාය.

මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් හා පියසිරි විජේනායක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුව විභාගය සඳහා කැඳවු අවස්ථාවේදී සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. මේ හේතුවෙන් නඩු විභාගය ලබන පෙබරවාරි මස 17 වනදා තෙක් කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කෙළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කර මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කුරුදුවත්ත පොලීසිය විසින් විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබේ. මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනා මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

(අධිකරණ වාර්තාකරු )