News

විල්පත්තුව රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ජුනි 28 විභාගයට

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වනදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත.

මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ 4වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් මෙම රක්ෂිත වනාන්තර කලාපය අඛණ්ඩව හෙළි කරමින් සිටින බව දැනුම් දුන්නේය.

මේ හේතුවෙන් මෙම පෙත්සම කඩිනමින් විභාගය සඳහා දිනයක් නියම කර ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම් විභාගය ජුනි මස 28 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදියකු වන මලින්ද සෙනෙවිරත්න සහ නාගානන්ද කොඩිතුවක්කු යන අය විසිනි.

විල්පත්තුවේ තිබූ වනාන්තර කලාපය එළි පෙහෙළි කොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් විශාල පාරිසරික අගතියක් සිදුව ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

එබැවින් අදාළ වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරිම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.