News

විවිධ අපහාස උපහාස විඳදරා ගෙන රටේ යහපත සඳහා ජනතාව ගෝඨාභය බලයට පත් කළා

‘‘අපි බලාපොරොත්තු වූ පරිදි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ලැබූ ජයග්‍රහණයේ සතුට සාමයෙන් සමගියෙන් භුක්ති විඳින ලෙස ඉල්ලා සිටිනවා’’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

විවිධාකාරයෙන් බාධා අපහස උපහාස විඳ දරා ගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ බවත්, ඒ සඳහා කැප වූ සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය පළ කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවසීය.

ඡන්දය දුන් නොදුන් සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව එකලෙස ජීවත් වීමට සුදුසු ආරක්ෂිත සංවර්ධිත රටක් ගොඩනැගීමට නව ජනාධිපති ධුරයට පත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සඳහා සියලු දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතුව ඇති බවත් ඒ මහතා කීවේය.

පසුගිය කාලය තුළ ඉතා අඳුරු යුගයකට ගෙන ගොස් තිබූ රට එක්කෙනකුට දෙන්නකුට ගොඩනැගිය නොහැකි බවත් ඒ සඳහා සියලු දෙනා එකාවන්ව වැඩකර රට දියුණු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.