News

වෛද්‍ය රයන් ජයලත්ගේ නාමයෝජනව යළි භාර ගැනේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍රය නැවත භාර ගන්නා බව එම සභාව විසින් ඊයේ (15) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එම නිලවරණය සඳහා තමා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව වෛද්‍ය රයන් ජයලත් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ලබන 30 සහ 31 යන දිනවල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉකුත් දා නිකුත් කර තිබුණි.

එම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකරුගේ ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍රය යළි භාර ගැනීමට එකඟ වන බව සඳහන් කළේය. ඒ අනුව මෙම පැමිණිල්ල සමථයකට පත්කර ගැනීම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා එය ලබන 19 වනදා යළි කැඳවන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කළේය.

පැමිණිලිකාර වෛද්‍ය රයන් ජයලත් කියා සිටින්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් තෝරා ගැනීමේ නිලවරණය සඳහා තමන් විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවයි. තමා නියෝජිතයකු මාර්ගයෙන් මෙම නාම යෝජනා පත්‍ර භාර දී තිබීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍ය සභාව තීරණය කළ බව ඔහු සඳහන් කරයි.

අධිකරණ වාර්තාකරු