News

ශනිල් නෙත්තිකුමාර විදේශගත වීම සඳහා අවසර ඉල්ලු මෝසම ඉල්ලා අස්කර ගනී

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳව සාක්ෂියක් ලබාදුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සොහොයුරෙකු වූ විජිත් විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින විත්තිකාර ශනිල් නෙත්ති කුමාර නමැත්තා විසින් තමන්ට විදේශ ගතවීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මෝෂන් පත්‍රයක් ඊයේ (02) කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

නඩුවට අදාළව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෝසමක් ගොනු කරමින් කරුණු දැක්වූ විත්තිකාර නෙත්තිකුමාර  මහතාගේ නීතිඥවරු තම සේවාදායකයාට සැප්තැම්බර් මස 09 වැනිදා සිට 12 වන දා දක්වා ඩුබායි හි පැවැත්වෙන ලෝක බලශක්ති සමුළුවට සහභාගිවීමට ඇරැයුම් ලැබී ඇති බැවින් එරට පිටව යාම සඳහා දැනට අධිකරණය මගින් පණවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියහ.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කරන බව එදින නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.
එදින දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විත්තියේ නීතිඥවරු අමතමින් මෙම විදේශගතවීමට අදාළව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම සනාථ කිරීම සඳහා ප්‍රබල කරුණු තිබේනම් ඒවා ඊයේ (02) දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණි.
ඒ අනුව මෝෂන් පත්‍රය ඊයේ දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර නෙත්තිකුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ පියා හදිසි ශල්‍යකර්මයකට භාජනය වී සිටින හෙයින් මෙම අවස්ථාවේ විදේශගත වීම සඳහා කරනු ලබන ඉල්ලීම ඉවත් කර ගන්නා බව දැනුම් දුන්හ. මෙම කරුණු මත තමන් විසින් ගොනුකර තිබෙන මෝෂන් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඉදිරිපත් කළ මෝසම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නේය.  අනතුරුව වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් මස 05 වනදාට කල් තැබුණි.