ශ්‍රී ලංකාවේ කොවිඩ් මඬින සටනට ආසියානු බැංකුවෙන් ඇ.ඩොලර් හයලක්ෂයක්
රටේ ඇති වී තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදන තත්ත්වයට එරෙහිව සටන් කිරීම සහ රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව අමරිකානු ඩොලර් හයලක්ෂයක (6,00,000) ප්‍රදානයක් (රු.111,000,000ක්) ශ්‍රී ලංකාවට ලබාදී ඇත.
එම බැංකුවේ මෙරට කාර්යාලය ප්‍රකාශ කර ඇති ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස හඳුන්වා දී ඇති කොවිඩ් 19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාවද ඊට හදිසි ප්‍රතිචාර දැක්විය යුතුව ඇත.
ඊට සහාය පළකිරීමක් ලෙස මෙම ආධාරය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
‘අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ සියලු හවුල්කරුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින අතර අවශ්‍ය පරිදි ආධාර සැපයීමට සූදානම්ව සිටිමු.’ යැයි එම බැංකුවේ මෙරට ශාඛාවේ සමාජ සංවර්ධන නිලධාරී හේරත් බණ්ඩා ජයසුන්දර සඳහන් කරයි.
මෙලෙස ලබාදෙන ආධාරවලින් රුපියල් මිලියන 2ක් වටිනා සෞඛ්‍ය උපකරණ පසුගිය මාර්තු 13 වැනිදා ලබාදී ඇත.
මෙම ප්‍රදානය සහ ඉදිරි ප්‍රදානයන් අයි.ඩී.එච්. රෝහල සහ තවත් තෝරාගත් රෝහල් 17ක් සඳහා ලබාදෙන බවද ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
නයන තරංග ගමගේ
