News

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්වත් සංගමයේ 2020 වර්ෂය සදහා 27 වන නව සභාපතිවරයා වශයෙන් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පත්කර තිබේ.

එම පත්වීම පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්වත් සංගමය සංවිධානය කළ උත්සවයක් ඊයේ (04) දින පස්වරුවේ රජයේ මැති ඇමැතිවරු ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ “සිනමන් ග්‍රෑන්ඩ්” හෝටලයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්වත් සංගමය යනු සියළුම රජයේ සෞඛ්‍ය ආයතනවල සහ පුද්ගලික අංශයේ වෛද්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත අධ්‍යයන සංවිධානයකි. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්වත් සංගමයේ 2019 වර්ෂය සදහා 26 වන සභාපතිවරිය ලෙස කටයුතු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය වේ.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා එක් වූ අතර ඒ මහතා කරුණු දක්වමින් දැනට ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව බව ලොවම පිළිගත් කරුණක් බවත්, අපේ රට නිදහස් සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම තුල ප්‍රමුඛ ස්ථානයක සිටින බවත් පැවැසීය. මෙම ජනතාවාදී නිදහස් සෞඛ්‍ය සේවාව තුල සේවාවන් ලබාදෙනු ලබන වෛද්‍යවරු පිළිබදව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ප්‍රතිකාර ලබාගැනීම සදහා තමන් වෙත පැමිණෙන අහිංසක රෝගීන්ගේ සිතුම් පැතුම් පිළිබදව ද අවධානය යොමු කරමින් රෝගීන් සමග සුහදශීලිත්වය ගොඩනගා ගගනිමින් නිසි අවබෝධයකින් යුතුව ප්‍රතිකාර සේවාවන් ලබාදිය යුතු බවයි. වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තුල අසරණ රෝගීන් පිළිබදව කරුණාවන්තභාවය ඉස්මතු විය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා සමහර වෛද්‍යවරු රෝගී තත්ත්වයන් පිළිබද කරුණූ රෝගීන්ට නොපවසන බවත්, රෝගීන්ට තම රෝගී තත්ත්වය පිළිබද සැබෑ තතු දැනගැනීමේ අයිතියක් ඇති බවත්, එම රෝගී තත්ත්වයන් පිළිබද නිශ්චිත කරුණු දැක්වීමට වෛද්‍යවරු විසින් කටයුතු කළ යුතු බවද පැවැසීය. වෛද්‍ය කාර්ය මණ්ඩල රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා දක්වන කැපවීම මත නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ තව තවත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් රට තුල දියත් කළ හැකි බව ද අවධාරණය කර සිටියේය.