News

සජිත්ට දෙමළ ජනතාවගේ කැමැත්ත හිමිවුණොත් පෙනී යන්නේ දෙමළ පක්ෂවල යෝජනාවට එකඟවු බව – උතුරේ පළාත් පාලන මන්ත්‍රීවරු සංසදය

‍දෙමළ දේශපාලන පක්ෂ විසින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය පළ කිරීමට සුදානම්වුවහොත් පෙනී යන්නේ දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව එකඟවි ඇති බව උතුරු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය සිංහල මන්ත්‍රීවරුන්ගේ සංසදය පවසයි.

දෙමළ දේශපාලන පක්ෂ පහක එකඟතාවය මත යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය මන්ත්‍රීවරුන් එලෙස පැවසුවේය.

මන්ත්‍රී සංසදයේ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් පැවසුවේ උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වංය පාලන බලතල ලබාදීම, යුධ සමයේ යුධ ගැටුම් වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා රණවිරුවන්ට දඩුවම් ලබාදීම, උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉවත් කිරීම, උතුරු නැගෙනහිර සිංහල තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබානොදීම,උතුරේ බෞද්ධ විහාරස්ථාන හා පුරාවිද්‍යා උරුමය විනාශ කරලීමට අවසරදීම වැනි කාරණාවලින් යුතු යෝජනාවලියක් දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කොට ඇති බවයි.

අදාළ යෝජනාවලිය වෙනුවෙන් බහුතරයක් දකුණේ ජනතාව එකඟ නොවනු ඇති බව තමන් විශ්වාස කරන බවද පළාත් පාලන මන්ත්‍රීවරුන් පැවසුහ.

එවන් වටපිටාවක යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදීමට තීරණය කළහොත් ඒ තුළින් ප්‍රදර්ශනය වන්නේ දෙමළ ජනතාව ඉදිරිපත් කළ ජාතිවාදි ලියවිල්ල වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව එකඟත්වය පළ කිරීමක් වන බවට පැහැදිලිවීමක් බැව්ද පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළහ.

‍සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදි ලියවිල්ලක් වෙනුවෙන් හෝ අත්සන් තබා ජනාධිපතිවීමට උත්සහ දරමින් සිටින බවද උතුරු පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රීවරුන් පැවසීය.

වවුනියාව – මාධව කුලසූරිය