News

සජිත් පිල මංගලගේ නිවසේ රැස්වෙද්දී රනිල් – රාජිත රහස් කතාවක

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ඇමැති සජිත් ප්‍රේමදාස මුදල් ඇමැතිවරයාගේ නිවසේ පෙරේදා (14 වැනිදා) සාකච්ඡා පවත්වන අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අතර අරලියගහ මන්දිරයේ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.

පැය දෙකකට අධික කාලයක් පැවැති රනිල් – රාජිත සාකච්ඡාවේදී ජනාධිපතිධුර අපේක්ෂකයා නම් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

දෙස් විදෙස් විවිධ ආයතන විසින් සිදුකර ඇති සමීක්ෂණ වාර්තාද මෙහිදී අගමැතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා අධ්‍යයනය කර තිබේ. විවිධ සිවිල් සංවිධාන විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂකත්වයට කථානායක කරු ජයසූරිය පත් කළ යුතු බවට මේ වන විට සිවිල් සංවිධාන රැසක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මුදල් ඇමැති මංගල සමරවීරගේ නිවසේ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් සියලුම නායකයන් සහභාගි වුවද ඇමැති රාජිත සේනාරත්න පමණක් සහභාගි නොවීමද විශේෂත්වයකි.

උදයජීව ඒකනායක