News

සත්වෝද්‍යාන සතුන්ටත් කොරෝනාවෙන් බැට

රටපුරා කොවිඩ් -19 නව කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යානවල සිටින සතුන් 6000 කට අධික සංඛ්‍යාවක් රැක බලා ගැනීම සඳහා සේවකයන් මහත් කැපවීමක නිරත වී සිටිති.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්ෂණාගාරය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය ඇතුළු සත්වෝද්‍යානවල වෙසෙන සතුන්ට නිසි ප්‍රතිකාර ලබා දීම, ආහාර ලබා දීම ඇතුළු කටයුතු රැසක් මේ වන විට එම සේවකයන් විසින් සිදුකරන අයුරු දැකගත හැකිය.

“ඇඳිරි නීතිය තිබුණත් සත්වෝද්‍යාන සේවකයන් දැන් දවස් ගාණක් තිස්සේ ගෙවල්වලට නොයා, සතුන්ට අවශ්‍ය ආහාරපාන ආදිය සපයනවා. හම්බන්තොට සෆාරි උද්‍යානයේ සේවකයන් 28 ක්, අඛණ්ඩව සේවයේ යෙදී ඉන්නවා. ඒ වගේම දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේද සේවකයන් 100 ක් පමණ සේවයේ නිරත වී සිටිනවා.” යැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් පැවසීය.

නේවාසිකව පශු වෛද්‍යවරුන්ද සතුන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරතව සිටිති.

පින්නවල අලි නෑවීමට මාඔයට රැගෙන යෑම ඇතුළු කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරේ.

“අපි නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මේ කටයුතු සිදු කරනවා. රටට විශාල ආදායමක් උපයා දෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු ආයතන ආරක්ෂා කිරීම අපේ වගකීමක්.” යැයි ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් වැඩිදුරටත් පැවසීය.

 

සාලිය කුමාර