News

සරසවියට නොතේරුණු පිරිසක් KDU එකට

පසුගිය උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලැබූ නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු සිසුන් පිරිසක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලවලට දෙවැනි වරටත් වැඩිපුර සිසුන් ඇතුළත් කිරීමේදීත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව නොලැබුණු සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම පියවර ගන්නා බව කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයට පිළියමක් වශයෙන් දෙවැනි වරටත් සිසුන් පන්සිය හතළිස් දෙනෙක් ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර එම සිසුන්ගේ නාම ලේඛන ලබන සතියේ දී අදාළ විශ්වවිද්‍යාලවලට යවන බව ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට අපේක්ෂා කෙරෙන සිසුන් සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ එම නාමලේඛන විශ්වවිද්‍යාවලට යැවීමෙන් පසුව බව ද සභාපතිවරයා සඳහන් කළේය.

වෛද්‍ය විද්‍යා, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු උපාධි පාඨමාලාවන්ට මෙම සිසුන් ඇතුළත් කෙරේ.

නිලන්ත මදුරාවල