සහරාන්ගේ වීඩියෝ අන්තර්ජාලයට දැමූ අයෙක් අත්අඩංගුවට
සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන් එක් අයෙක් පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව හා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.
මොවුන් විසින් ‘වන් උම්මා‘ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට වාර්තා වේ.
මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාවට එවා තිබේ.
2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.
ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් වන අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය