News

සහල් සඳහා පැනවූ නව මිලෙන් මෝල් හිමියන්ට කිලෝවකින් රුපියල් 15ක ශුද්ධ ලාභයක්

සහල් සඳහා අලුත් පාලන මිලක් නියම කිරීමත් සමග තොග සහල් ව්‍යාපාරිකයන් කිලෝ ග්‍රෑමයකට රුපියල් 15කට අධික ශුද්ධ ලාභයක් හා සිල්ලර වෙළෙඳසල්වලට රුපියල් 4ක ලාභයක් ලැබෙන බව වාර්තා වේ.

සියලුම වර්ගයේ සුදු කැකුළු සහ තම්බපු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98කට අලෙවි කිරීමට ගැසට් නිවේදනයක් පසුගිය සතියේ නිකුත් කළේය.

එහෙත් මීට පෙර සුදු සම්බා කිලෝවක් රුපියල් 85ටත් සුදු නාඩු රුපියල් 80ටත්, රතු නාඩු රුපියල් 74ක මිලකටත් යටත් වන සේ පාලන මිලක් නියම කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 42කටත් නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 38ක මිලකට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට පාලන මිලක් නියම කර තිබිණි. එහෙත් පෞද්ගලික වී මෝල් හිමියන් ගොවීන්ගෙන් රුපියල් තිස් පහකටත් වඩා අඩු මිලකට වී කිලෝවක් මිලදී ගෙන ගබඩා කළ අතර එම වී තොග සහල් කර මේ වන විට වෙළෙඳපොළට වැඩි මිලට නිකුත් කරති.

සාමාන්‍යයෙන් සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකහමාරක් (1 1/2) අවශ්‍ය වන අතර ඊට රුපියල් 63 වැය වේ. එම වී සහල් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමය, විදුලිය, ගබඩා ආදී පිරිවැය සඳහා තවත් රුපියල් අටක් වැය වන අතර එවිට සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල රුපියල් හැත්තෑ එකකි. එම සහල් කොළඹට ප්‍රවාහනය කිරීමේදී කිලෝ ග්‍රෑමයකට තවත් රුපියල් දෙකක් පමණ වැයවන අතර එවිට වැය වන මුළු මුදල රුපියල් 73කි. තොග වෙළෙඳාමට රුපියල් 5ක ශුද්ධ ලාභයක්ද සිල්ලර වෙළෙඳාමට රුපියල් 2ක ලාභයක් තබාගෙන අලෙවි කළත් රුපියල් 80කට සහල් කිලෝවක් ලබාදිය හැකිය. ඊට අමතරව වී සහල් කිරීමේදී සහල් මෝල් හිමියන්ට ඉතිරි වන අමතර නිෂ්පාදන වන දහයියා, සුනු සහල් සහ වී කුඩු ආදී සත්ත්ව ආහාරවලට වැඩි මිලකට විකුණා එයින්ද ලාභයක් ලබයි.

කෙසේ වෙතත් අඩු මිලට ලබා ගත් වී සහල් කර වෙළෙඳපොළට මෝල් හිමියන් නිකුත් කරනු ලබන්නේ රුපියල් 94කට බවද වාර්තා වේ. මේ වන විට රටේම සහල් ඒකාධිකාරය පාලනය කරනු ලබන්නේ පොළොන්නරුවේ ප්‍රධාන මෝල් හතරකින් බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න