News

ස්වාධීන රූපවාහිනියට දුන් නියෝගය පැය 48ක් තුළ මැ.කො. අත්හිටුවයි

ජනාධිපතිවරණය නිමා වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කළ නියෝගයක් සභාපතිවරයා විසින්ම ඊයේ (3 වැනිදා) ඉවත් කර ඇත.

අද (4 වැනිදා) දින සිට දේශපාලනමය වැඩසටහන් සජීවීව විකාශය කිරීම අත්හිටුවමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සිකුරාදා නියෝගයක් ලබාදී තිබිණි. එම නියෝගය පැය 48කින් ඉවත් කළද මාධ්‍ය උපමානවලට අනුකූලව කටයුතු කරන ලෙස කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ස්වාධීන රූපවාහිනි සේවයට දැනුම් දී ඇත.

හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාර පසුගිය මස 30 වැනිදා සහභාගි වූ වැඩසටහනකින් ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් වූ බව ප්‍රකාශ කරමින් නියෝගය නිකුත් කර තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂයෙන්ම එක් රූපවාහිනී නාළිකාවකට පමණක් මෙවැනි නියමයක් නිකුත් කිරීම හේතුවෙන් වෙනස්ව සැලකීමක් වන බවට ඉදිරිපත් වූ නියෝජනය සලකා බලා, ලබාදුන් නියෝගය අත්හිටු වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

උදයජීව ඒකනායක