සුදු කෙස් ගසක් ඇති හිසක් දුටුවොත් වහා දන්වන්න!
2002 අවුරුද්දේ ‘සුදු සෙවණැලි’ නමින් චිත්‍රපටයක් තිරගත වුණා. පියදාස වැලිකන්නගේ මහත්තයාගේ නවකතාවක් ඇසුරුකොටගෙන නිර්මාණය වුණ ඔය චිත්‍රපටයේ එකතැනක මහලු කතකගේ චරිතයකුත් දකින්න ලැබුණා. ඒ චරිතයට පණ පෙව්වේ ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහයි. ඉතින් ඒ චරිතය වෙනුවෙන් මහලු බව ඇයට ආරෝපණය කරන්න චිත්‍රපටයේ වේෂ නිරූපණ ශිල්පියාට මහත් පරිශ්‍රමයක් දරන්න සිද්ධවුණාලු. අයිරාංගනී සේරසිංහ මහත්මියගේ හිසේ කෙස් එකක් නෑර සුදු කරන්න ඔහුට පැය දෙකකටත් වඩා වැයවෙලා තිබුණා. පස්සේ කාලෙක ඒ ගැනත් මතකාවර්ජනය කරන ගමන් ඔහු සිනමාව පිළිබඳව ලියැවුණ පුවත්පතකට මෙන්න මෙහෙම අදහස් පළ කරලා තිබුණා.
“බොහෝදෙනෙක් රූපලාවණ්‍ය ශිල්පීන් ළඟට යන්නේ සුදු හිසකෙස් කළු කරන්න. හැබැයි වේෂ නිරූපණ ශිල්පීන් විදියට අපිට ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ කළු හිසකෙස් සුදු කරන්න.”
ඒ කිව්වා වගේ කළු හිසකෙස් සුදු කිරීම කෙසේ වෙතත් අද අපේ බියුටි පිටුවේ මාතෘකාව බවට පත්වෙන්නේ සුදු හිසකෙස් කළු කිරීම ගැන. ඒ සඳහා ආයුර්වේදයේ දැක්වෙන සත්කාර සහ පිළියම් කිහිපයකුයි පහතින් දැක්වෙන්නේ.
හෙනා පවුඩර් තේ හැඳි 03කට වතුර තේ හැන්දක් දමා යෝගට් තේ හැන්දක් ද එක්කර තලපයක් වන ලෙස හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු හිසකෙස්වල ආලේප කර පැයක් තබා හොඳින් සෝදා ඉවත් කරගන්න.
නෙල්ලි පවුඩර් තේ හැඳි තුනකට පොල්තෙල් තේ හැඳි තුනක් ද හොඳින් මිශ්‍රකර හිසකෙස්වල ආලේප කරගත හැකියි.
කීකිරිදි කොළ ගෙන පළමුව හොඳින් අඹරාගන්න. එයට පොල්තෙල් ස්වල්පයක් ද දමා හිසකෙස්වල ආලේප කර තබා විනාඩි 30කට පසුව සෝදා හරින්න.
බීට්රූට් අලවලින් යුෂ ගෙන එයට ඔලිව්, ජොජොබා හෝ පොල්තෙල් වැනි තෙල් වර්ගයක් එක්කර හිසකෙස්වල ආලේප කරන්න.
මදක් රත්කර ගත් අබතෙල් ස්වල්පයක් ගෙන හිස්කබලේ හා හිසකෙස්වල ආලේප කර Shower Cap එකකින් ආවරණය කර විනාඩි 30ක් විතර තබා සෝදා ඉවත් කරගන්න.
නෙල්ලි පවුඩර් ස්වල්පයක් මද උණුසුම් ජලය සමඟ මිශ්‍රකර හිස්කබලේ හා හිසකෙස්වල ආලේප කර Shower Cap එකකින් ද ආවරණය කරන්න. පැයක් පමණ එලෙස තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
හෙනා පවුඩර් ස්වල්පයක්, වතුර හා කෝපි කුඩු හොඳින් මිශ්‍රකර පැය කිහිපයක් තබා හිස්කබලේ හා හිසකෙස්වල ආලේප කර පැය කිහිපයකින් සෝදාගන්න.
මෙම සත්කාර හරහා කේශ වර්ධනය වී හිසකෙස් ශක්තිමත් වීම සිදුවෙයි. ඊට අමතරව හිසකෙස් සුදු වීම හා ගැලවී යාම වැළකී හිසකෙස් කළු පැහැ ගැන්වීම සිදුවන්නේ ස්වභාවික වර්ණකාරක හරහාමයි. නමුත් ඔබ නිතර අසාත්මිකතා ඇතිවන අයෙක් නම් මෙම සත්කාර සිදුකිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යය වේ.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල