නවතම ප්‍රවෘත්ති

සුමිහිරි පානේ පදමට ගහමු

සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ කේශධාතු නිධන් කරලා ඉදිකරපු මහියංගණ මහා සෑය, දැන් තියෙන තත්ත්වෙට ගේන්න ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ දුටුගැමුණු මහ රජතුමා.  ඒ වෙනුවෙන් දිවා රෑ  නොබලා වෙහෙස මහන්සි වුණ මහ රජ්ජුරුවන්ට, දිනකට හය හත් වතාවක්වත් බුලත් විටක් හපන්න ඕනෑ වුණා කියලයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඒ බුලත් විඩේ එතුමාට සකස් කරලා දීලා තියෙන්නේ බුලතා කියන දසමහා යෝධයා. මේ යෝධයා මහා දාගැබ් ඉදිකරන්න දුටුගැමුණු රජතුමාට හරි හරියට උදව්පදව් කළා. සොරබොර වැවත් ඉදිකළා කියන්නෙත් මේ යෝධයාම තමයි. ඒ වෙනුවෙන් ඔහුට යෝධ බල, යෝධ ශක්තිය එක්කාසු කරලා දීපු විශේෂ පානයකුත් ඒ කාලේ තිබිලා තියෙනවා. වනාන්තරයේ දුර්ලභ ඖෂධීය ශාක, අල සහ කොළ වර්ග එකතු කරලා, යුෂ විදියට බුලතා හදලා බීපු මේ පානයෙන් උන්දැට ලැබෙන්න ඇත්තේ හයි හත්තිය විතරයි.

 

හැබැයි හයිය හත්තිය විතරක් නෙවෙයි, රූප සම්පත්තිය රැකගන්න පුළුවන් විවිධ ඖෂධීය පාන වර්ගත් නැතුවම නෙවෙයි.

 

නිරෝගී සිරුරක්, පැහැපත් සමක් සහ ප්‍රබෝධමත් මනසක් විශේෂයෙන්ම කැරට්, බීට්රූට්, පිපිඤ්ඤා, අන්නාසි, දොඩම්, ලෙමන්, ඉඟුරු සහ කහ වැනි ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන රසවත් පාන වර්ග ගෙදරදීම සකස් කරගන්න පුළුවන්. මේවායේ අඩංගු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක සමේ සෞඛ්‍යය, ආහාර ජීර්ණය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට සහාය වෙනවා.

 

මේ පාන වර්ග සකස් කිරීමේදී අමතර සීනි එකතු නොකර, යුෂ පෙරා ඉවත් නොකර භාවිත කිරීම වඩාත් සුදුසුයි. පැහැපත්, නිරෝගී පෙනුමක් පවත්වා ගැනීමට බාහිර ආලේපන පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා සිරුරට අවශ්‍ය පෝෂණය අභ්‍යන්තරයෙන් ලබාදීමත් ඉතා වැදගත්.

 

ඉතින් ඊට උපකාරී වන, නිවසේදීම පහසුවෙන් සකස් කරගත හැකි, රසයෙන් වගේම පෝෂණයෙන්ද පිරි පාන වර්ග කිහිපයක් ගැනයි මෙවර බියුටි පිටුවෙන් අපි ඔබට කියාදෙන්නේ. පහතින් දැක්වෙන්නේ එම පාන වර්ග සකසා ගන්න ආකාරයයි.

 

  • කැරට් අලයක්, දොඩම් ගෙඩියක්, කහ කුඩු ස්වල්පයක්, ඉඟුරු කැබැල්ලක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් එකට දමා වතුර ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩර් කරගන්න.
  • අන්නාසි කැබලි කෝප්ප භාගයක්, පිපිඤ්ඤා ගෙඩි භාගයක්, ඇපල් ගෙඩි භාගයක්, මින්ට් කොළ කිහිපයක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් එකට දමා බ්ලෙන්ඩර් කරගන්න.
  • බීට්රූට් ගෙඩියකින් භාගයක්, නෙල්ලි ගෙඩි දෙකක්, කැරට් අලයක් සහ ඉඟුරු කැබැල්ලක් වතුර ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩර් කරගන්න. අවසානයට ලෙමන් යුෂ ස්වල්පයක් ද ඊට එක් කරන්න.
  • අන්නාසි කැබලි කෝප්ප භාගයක්, කහ කුඩු ස්වල්පයක්, ඉඟුරු කැබැල්ලක්, ලෙමන් යුෂ සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුර සමඟ බ්ලෙන්ඩර් කරගන්න.
  • පිපිඤ්ඤා ගෙඩි භාගයක්, සැල්දිරි දඬු එකක් හෝ දෙකක්, කොළ ඇපල් ගෙඩි භාගයක් සහ මින්ට් කොළ කිහිපයක් ලෙමන් යුෂ හා වතුර සමඟ බ්ලෙන්ඩර් කරගන්න.

 

උපදෙස් – වෛද්‍ය එස්. එම්. මධුෂාණී වත්සලා කුමාරි

ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)

ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල

 

නෙත්මි තෂාරා

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න