News

සුරාබදු නිලධාරීන් රැගෙන අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලිසියෙන් වෙඩි

කිලිනොච්චි, අරවියල්නගර් ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් රැගෙන අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලීසිය වෙඩි තබා ඇත.

අද පෙරවරුවේ ජීප් රථයකින් විශාල ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එහිදී සැක සහිත ජීප් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇති අතර ජීප් රථය නොනවත්වා ධාවනය කර බැවින් එහිදී පොලිස් නිලධාරීන් ජීප් රථයට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් ජීප් රථයේ සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

එම ජීප් රථයේ ගමන් කර ඇත්තේ, කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට අනාවරණය වී ඇත.