News

හදිසියේ ගත් විදුලිය ගැන ඇමැති සොයයි

හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරාට ඊයේ (26 වැනිදා) උපදෙස් ලබා දී ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ.

පසුගිය කාලයේ සිදුව ඇති හදිසි විදුලි මිලදී ගැනීම්වලදී විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳ සත්‍යතාව තහවුුරු කර ගැනීමට විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කිසියම් විදුලි සමාගමක් වංචනික ලෙස කටයුතු කර ඇත්නම් එම සමාගම අසාදු ලේඛනගත කිරීමටද තීරණය කර ඇත.

විදුලි උත්පාදනය අඩු අවස්ථාවලදී හදිසි මිලදී ගැනීම් ලෙස පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය ලබා ගනියි. එම අවස්ථාවලදී විදුලි ඒකකයක් රුපියල් 25 ත්, 30 ත් අතර මුදලකට ලබාගෙන ඇත.

ලබන අප්‍රේල් මාසයේදී විදුලි කප්පාදුවක් සිදුවන බවට පුරෝකථනය කර ඇති බැවින් මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීමට ද ලංකා විදුලිබල මණඩලය අමාත්‍යාංශයට යෝජනා කර ඇත.

උදයජීව ඒකනායක