News

හදිසි මහ මැතිවරණයකට ශ්‍රීලනිප විරුද්ධයි

හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වුවහොත් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18 වැනිදා) රාත්‍රි පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණයට එළැඹ තිබේ.

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසි සහගත නිසා හදිසි මහා මැතිවරණයකට නොයෑමට එම පක්ෂය මෙහිදී තීන්දු කර ඇත. ව්‍යවස්ථානුකූලව ආණ්ඩුව විසුරුවා හැරිය යුතු මාර්තු මාසය දක්වා ආණ්ඩුව පවත්වාගෙන යාමටද එම පක්ෂය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අත්සන් කළ ගිවිසුමට අනුවද පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව, මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට සහය නොදැක්වීමට මෙහිදී තීරණය කර ඇත.

උදයජීව ඒකනායක