හලාවත ඇති වූ ගින්නකින් වෙළඳසැල් 07ක් විනාශ වෙයි
හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත පුද්ගලික බස් නැවතුම් පල ආසන්නයේ පවත්වා ගෙන ගිය වෙළද සැල් 07 ක් විනාශයට පත්ව ඇති බව හලාවත පොලීසිය කියයි.
20 වැනිදා අළුයම 1.00 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත. ගිනි ගෙන විනාශයට පත්ව ඇති වෙළද සැල් වල පළතුරු සහ විසිතුරු භාණ්ඩ අලවි කිරීම සිදු කර ඇත.
එක් වෙළද සැළක හට ගෙන ඇති ගින්න විනාඩි කීපයක් තුළ සෙසු වෙළද සැල් වෙතද ව්‍යාප්ත වී ඇත.ගින්න හේතුවෙන් කිසිවෙකුට හානි සිදුවී නැති අතර, සිදුවී ඇති අලාභයද මෙතෙක් තක්සේරු කර නැත. උත්සව සමයේ අලවි කිරීම සදහා විවිධ භාණ්ඩ මෙම වෙළද සැල් වල ගබඩා කර තිබී ඇත.
විදුලිය කාන්දු වීමක් ගින්නට හේතු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලීසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
ගින්නට හසුවී ඇති වෙළදසැල් අනාරක්ෂිත තත්ත්වයේ පසුවූ ඒවා බවත්,එම වෙළද සැල් ඉවත් කරන ලෙස හලාවත නගර සභාවේ සියළුම සභිකයින් ඒකමතිකවක සම්මත කර ඇති බවත් හලාවත නගරාධිපති කුෂාන් අබේසේකර මහතා පැවසීය.
ඒ අනුව මෙම වෙළද සැල් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බවද නගරාධිපතිවරයා කියා සිටියේය.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
පුත්තලම – ජුඩ් සමන්ත