News

හිටපු අගමැති දි.මු. දිවියට සමුදෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයකු වන දි.මු. ජයරත්න මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19 වැනිදා) පස්වරුවේ අභාවප්‍රාප්ත වූයේය.

1970 වර්ෂයේ ගම්පොළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි දි.මු. ජයරත්න මහතා විවිධ ඇමැති ධුර දරමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේය. දේශපාලනයට පිවිසීමට පෙර ගුරු වෘත්තියේ මෙන්ම දොලුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු ගොවියෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වැනි සාමාජිකයා වන දි.මු. ජයරත්න මහතා එම පක්ෂයේ අනුශාසකවරයකු ලෙස මෙන්ම විවිධ තනතුරුද හෙබවීය. පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ධුරයද හෙබවූයේ ඔහුය. ඔහු වසර 2010දී අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව උද්‍යානය ඉදිකිරීමටද දි.මු. ජයරත්න මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේය. ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මහතාද ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් කටයුතු කරයි. දි.මු. ජයරත්න දියණියන් දෙදෙනකුගේ පියෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දීමට නියමිතය.

උදයජීව ඒකනායක