News

හිටපු අගවිනිසුරු අල්ලස් නඩුවෙන් නිදහස් වෙයි

හිටපු අගවිනිසුරු අල්ලස් නඩුවෙන් නිදහස් වෙයි

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (30 වැනිදා) නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් ඇතිවූ තාක්ෂණික ගැටලු කිහිපයක් මත අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 189 වගන්තිය ප්‍රකාරව, අදාළ නඩුව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කළ දැනුම්දීම සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එම්. ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩස් යන තිදෙනෙකි.

2010 දෙසැම්බර් 1 වැනිදා සහ 30 වැනිදා අතර කාලය තුළ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු නොකිරීම තුළින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව වරදක් සිදු කරන ලදැයි හිටපු අගවිනිසුරු ඇතුළු තිදෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබිණි.

ඉෂාර රත්නකාර