News

හෙට සහ අනිද්දා කාලගුණයේ වෙනසක්

හෙට (18) සහ අනිද්දා (19) යන දින දෙක තුළදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-35 පමණ වනවා.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන සුළගේ වේගය පැ.කී.මී. 10-20 පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.