News

හොරෙන් ගෙනා සුවඳ විලවුන් තොගයක් මාට්ටු

කඩදාසි ආනයන කරන බව පවසා චීනයේ සිට මෙරටට ගෙන්වන ලද සුවඳ විලවුන් තොගයක් රැගත් බහාලුමක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සුවඳ විලවුන් තොගය පසුගිය 12 වනදා පානදුර ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති සමාගමක් විසින් කොළඹ වරාය වෙත ගෙන්වා ගෙන ඇත.

රේගු නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෙට්‍රික් ටොන් 3 ක් පමණ බරැති මෙම සුවඳ විලවුන් තොගය සොයාගෙන තිබේ.

රජය විසින් ලබා දී ඇති බදු සහනය අවභාවිත කරමින් මෙම සුවඳ විලවුන් තොගය ආනයනය කර ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය කර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කර්මාන්තශාලාවේ නිලධාරීන් කිහිපදෙනෙකු සහ වාප්පු ලිපිකරුවන් කිහිපදෙනෙකු රේගුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව වාර්තා වේ .