ෆේස් බුක්ද? ෆේක් බුක්ද?
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මෙරට සමාජයේ ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යයක් වී තිබුණත් ඒවාට දේශපාලනමය වටිනාකමක් හිමි වූයේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවය. 2015 සිදුවූ බල පෙරළියට සමාජ මාධ්‍ය මගින් ප්‍රබල දායකත්වයක් ලැබුණු බවට වූ මතයක් නිසාය. මේ නිසා 2015 න් පසු සෑම දේශපාලන කඳවුරක්ම සම්මත මාධ්‍යයට වඩා විශ්වාසය තබන්නට වූයේ සමාජ මාධ්‍ය කෙරෙහිය. විශේෂයෙන් අලුත් ඡන්ද ඩැහැ ගැනීමට පත්තර, රේඩියෝ හා රූපවාහිනී වැනි සම්ප්‍රදායික මාධ්‍යයන්ට නොහැකි අතර එය කළ හැක්කේ සමාජ මාධ්‍යයට බව ඔවුන්ගේ විශ්වාසය විය.
යළිත් වරක් ජනාධිපතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ සමාජ මාධ්‍ය භූමිකාව ප්‍රශ්න කෙරෙමින් තිබේ. සමාජ මාධ්‍ය සතු නිදහස් බව හේතුකොටගෙන ඕනෑම අයකුට ඕනෑම දෙයක්, ඊට මුදාහැරීමේ හැකියාවක් තිබේ. කිසියම් තොරතුරක් නිවැරදි නොවන, සත්‍ය නොවන, අපහාසාත්මක හෝ ප්රකෝපකාරී වුවහොත් ඊට එරෙහිව ගත හැකි යම් යම් පියවර ඇතත් ඒ පියවරට යන විට අදාළ තොරතුර මගින් සිදුවිය යුතු හානිය සිදු වී හමාරය.
සමාජ මාධ්‍ය බිහිවීම සැලකෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පුළුල් වීමක් ලෙසය. එහෙත් අද ලෝකය පුරාම ජනතාව මුහුණ පා සිටින ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ කටකතා සහ බොරු ප්‍රචාර අතුරින් නිවැරදි තොරතුරු තෝරා බේරා ගැනීමය.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනය මේ සම්බන්ධයෙන් වැදගත් අධ්‍යයනයක් සිදුකර තිබේ. The Global Disinformation Order නමැති ඔවුන්ගේ අධ්‍යයනයට අනුව වසර 2017 දී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානගත තොරතුරු හැසිරවීම් වාර්තා වූයේ රටවල් 28 කින් පමණකි. නමුත් පසුගිය 2018 වසර වන විට එය රටවල් 70 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහි ඇති භයානකම කාරණය වන්නේ මේ සෑම රටකම අවම වශයෙන් එක් දේශපාලන පක්ෂයක් හෝ රාජ්‍ය ආයතනයක් තම සිතැඟි පරිදි මහජන ආකල්ප හැඩගැස්වීම සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමය. මේ තත්ත්වයේ සැබෑව තේරුම් ගන්නට අපට වෙනත් නිදර්ශන අවශ්‍ය නොවන්නේ ඉදිරි ජනාධිපතිවරණයට අදාළව අප එය අත්විඳිමින් සිටින බැවිනි.
එක් එක් අපේක්ෂකයන් හා දේශපාලන කඳවුරු සම්බන්ධයෙන් අසත්‍ය, නිවැරදි නොවන හා අපහාසාත්මක තොරතුරු කොතෙක් නම් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේද? මෙවන් ඇතැම් තොරතුරක් අසත්‍ය එකක්දැයි හඳුනාගැනීමට හෝ නොහැක්කේ ඒවා ඒ තරමට සත්‍යයට ආසන්න වන සේ නිර්මාණය වී ඇති නිසාය.
ජනාධිපතිවරණයට නාමයෝජනා හෙවත් අපේක්ෂකත්වය ලබා ගැනීම පිළිබඳ සටන පැවති කාලයේ රවි කරුණානායක, සජිත්ගේ සාමාන්‍ය පෙළ සහතිකය ගැන සැක මතු කළේය. සජිත් ප්‍රේමදාස සාමාන්‍ය පෙළ අසමත් බව දැක්වෙන විභාග සහතිකයක් පසුගිය දිනවල අන්තර්ජාලය තුළ සංසරණය විය. එය අසත්‍ය එකක් බව පසුව අනාවරණය වූ නමුත් අද බොහෝ දෙනකු සිතන්නේ සජිත් ප්‍රේමදාස සාමාන්‍ය පෙළ අසමත් වූ අයකු බවය. ඇත්තෙන්ම ඔහු සාමාන්‍ය පෙළ සමත්ද, අසමත්ද යන්න අනාවරණය වී නැතත්, ඔහු තම සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වා නැතත් අන්තර්ජාලයේ සංසරණය වූ සහතිකය ව්‍යාජ එකකි.
මේ අන්දමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය රචනා කළ ‘ජනාධිපති තාත්තා’ නම් ග්‍රන්ථයේ කොටස් ලෙස හඳුන්වමින් සකස් වූ උපුටා ගැනීම් ගණනාවක්ද අන්තර්ජාලයේ සංසරණය විය. ගෝඨාභය රාජපක්ෂගේ ජීවිත කතාව ඇසුරින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියූ ‘ගෝඨාභය’ කෘතියේ බව හැඟවෙන ව්‍යාජ උපුටා ගැනීම්ද මේ අන්දමට සංසරණය විය. එම උපුටා ගැනීමටද අසත්‍ය වූ කරුණු, සත්‍ය බවට පිළිගන්නා අය තවමත් සිටිති.
මෙවරත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන අදහස් ගණනාවක් මේ වන විටත් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ. දැන් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයන්ටද පැමිණිලි කර ඇත.
කනගාටුවට ඇති කරුණ වන්නේ සමාජයේ යමක්කමක් තේරෙන පුරවැසියන් පවා මෙවැනි ව්‍යාජ නොමඟ යවනසුලු තොරතුරු විශ්වාස කිරීමය. විශ්වාස කිරීමෙන් නොනැවතී ඔවුහු ඒවා සමාජය තුළ බෙදා හැරීමටද දායක වෙති. උගත්, බුද්ධිමත් අය පාර්ලිමේන්තු යැවිය යුතු යැයි කියන්නේද මේ අයමය.
අසත්‍ය, ව්‍යාජ හා නොමග යවනසුලු තොරතුරු නිර්මාණය වන්නේ සැලසුම් සහගතවය. ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන්නේද එලෙසමය. සෑම දේශපාලන පක්ෂයකම ඒ සඳහාම මුදල් ගෙවා තෝරාගත් පිරිසක් සිටිති. අද මේ ක්‍රියාවලිය තවදුරටත් තොරතුරු බෙදාහැරීමක් හෝ මාධ්‍යමය කටයුත්තක් නොව ජාවාරමකි.
මේ ක්‍රියාදාමයෙන් පැහැදිලි වන තවත් කාරණයක් තිබේ. එනම් මැතිවරණ දූෂණ, වංචා යනු තවදුරටත් හොර ඡන්ද දැමීම, කෙනකුට අල්ලස් දීම, ඡන්දය දැමීම වැළැක්වීම වැනි කාරණාවලට පමණක් සීමා නොවන බවය.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා තොරතුරු සංසරණය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමක්ද ඒ හරහා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වනු ඇතැයිද ඇතැමෙකුට කිව හැකිය. එහෙත් ප්රජාතන්ත්රවාදය ප්රධානකොටම රඳා පවතින්නේ නිවැරදි හා යහපත් තොරතුරු මත වන අතර තොරතුරු සත්‍ය වුවද, ඒවා නිවැරදි හා යහපත් නොවන බවද අප දැනගත යුතුය.
මේ අන්දමට දිගින් දිගටම නිවැරදි නොවන හා යහපත් නොවන තොරතුරු සංසරණය වීමේ අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකිද? ඇතැම් විටෙක ජනතාව සත්‍ය තොරතුරු පවා ප්‍රතික්ෂේප කරන හෝ පිළි නොගන්නා තත්ත්වයකට පත්වීම විය හැකිය. එවැනි තත්ත්වයක් ප්රජාතන්ත්රවාදයට කුමන අන්දමේ බලපෑමක් ඇති කරනු ඇත්ද? මේ කාරණය සමාජ මාධ්‍ය වෙත අසත්‍ය, නොමග යවන සුලු ප්‍රකාශ මුදාහරින අයත්, ඒවා තලු මර මර රස විඳින හා බෙදා හරින අයත් ඇතුළුව අප සියලු දෙනා කල්පනා කළ යුතු කාරණයකි.
